උතුරෙන් සිංහලයන් එලවන්න කතා කරන විග්නේෂ්වරන්ට අලූත් ව්‍යවස්ථාවෙන් ඉඩම්, පොලිස් බලය

November 29, 2016 at 8:40 am | lanka C news
උතුරෙන් සිංහලයන් එලවන්න කතා කරන විග්නේෂ්වරන්ට අලූත් ව්‍යවස්ථාවෙන් ඉඩම්, පොලිස් බලය

‘උතුරෙන් සිංහල ජනයා ඉවත් විය යුතුයි’ කියන ජාතිවාදී නායකත්වයක් සහිත පළාත් සභාවකට ඉඩම්, පොලිස් බලතල ලැබුණොත් ඒවා කෙසේ යොදා ගනීවිද?‘
– ජානිපෙ නායක විමල් වීරවංශ

‘උතුරෙන් සිංහල ජනයා ඉවත් විය යුතුයි’ කියා පවසන ජාතිවාදී නායකත්වයක් සහිත පළාත් සභාවකට නව ව්‍යවස්ථාවකින් ඉඩම්, පොලිස් බලතල, පූර්ණ පළාත් රාජ්‍ය සේවා කොමිසමක්, ප්‍රඥප්ති සැදීමේ බලය වෙනුවට නීති හැදීමේ බලය සමඟ පරමාධිපත්‍ය බලය ද ලබා දුන්නොත් ඒවා අනිවාර්යෙන්ම ජාතිවාදී උවමනාවන් වෙනුවෙන් යොදා ගනු ඇති බව ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

එසේ තිබියදී නව ව්‍යවස්ථාවෙන් ඉහත බලතල ලබා දීමට අදාළ නිර්දේශ, පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ‘මධ්‍යම – පර්යන්ත සබඳතා පිළිබඳ අනුකමිටු වාර්තාවේ’ ඇතුළත් බවද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

‘රට අනතුරේ කළ යුත්තේ කුමක්ද?’ යන මැයෙන් හංවැල්ල ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී දේශනයක් පවත්වමින් විමල් වීරවංශ මහතා මෙසේ අදහස් දැක්විය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද සඳහන් කළේය.

“අපේ මව් පොළොව ඉදිරියේ තියුණු අභියෝගයක්, අන්තරායක් මතු වන සෑම අවස්ථාවකම ඉතිහාසය විසින් මේ විදියට එකතු වන ලෙස අපට බල කරනවා. නිසි ලෙස හඳුනානොගත්තොත් අප ඉදිරියේ වන කිසිදු අභියෝගයක් පරාජයට පත්කිරීමට බැහැ.

මේ දිනවල රූපවාහිනී, පත්තර බලපුවාම මේ රට ඉදිරියේ තිබෙන බරපතළම අභියෝගය ලෙස අපට දැනෙන්නේ, හැඟෙන්නේ කුමක්ද? වාහන දඩ මුදල් වැඩි කිරීමද? අන්තර්ජාලයට පිවිසීමේදී 25%ක අමතර මුදලක් ගෙවීමට සිදුවීමද? මුදල් ඇමතිතුමානම් කියනවා මේ 25% වැඩී වීම සිදු කළේ ‘තරුණ තරුණියෝ ‘Viber’ සහ ‘WhatsApp’වලින් Chat කරන නිසා කියලා.(සභාවේ සිනා) ‘ශ්‍රී පාද අඩවියේ හෝටලයක් හදනවා’ කියන කතාවද? ‘උතුරේ මිය ගිය කොටි සාමාජිකයන් යාපනය විශ්ව විද්‍යාලය තුළ පහන් පත්තු කරලා සමරනවා. මේ දිනවල වේළුපිල්ලේ පිරබාහරන්ගේ පින්තූරය සහිත පත්තර කොටහේනේ කඩවල විකුණන්න තිබෙනවා’ කියන එකද? අගමැතිවරයා මහ මොළකරු ලෙස සිදු කළ බැඳුම්කර වංචාවද? රට හමුවේ වන තියුණුම අභියෝගය හැර අනෙක් සියල්ලම අද මේ විදියට සමාජය තුළ සංවාදයට භාජනය වෙනවා. එහෙම නම් රට හමුවේ වන තියුණුම අභියෝගය කුමක්ද? ඒ තමයි, රටේ මූලික නීතිය කණපිට හැරවීමට සූදානම් වීම හෙවත් රටට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පැටවීමට යාම.

‘රටේ මූලික නීතිය වෙනස් කිරීම’

රටක මූලික නීතියට අත තියලා හදන අවුල කිසිදාක ලෙහෙසියෙන් නිවැරදි කරන්න බැහැ. 1976 වඩුකොඩෛයි සමුළුවේදී, තිම්පු සාකච්ඡාවලදී දෙමළ ජාතිවාදී, බෙදුම්වාදී කල්ලි ටික ඉල්ලපු ඉල්ලීම් ටික අපි හොඳින් දන්නවා. වේළුපිල්ලේ පිරබාහරන්ට කලින් බිහිවුණු මේ ජාතිවාදී බෙදුම්වාදී ව්‍යාපාරය සැමදා ඉල්ලන්නේ උතුරු- නැගෙනහිර පළාත් ඒකාබද්ධ කළ ස්වයං පාලනයක්. අද යුද්ධ කරලා ත්‍රස්තවාදීන් ඉවර කරපු නායකයාට ‘හොරා’ කියනවා. උතුරේදී ත්‍රස්තවාදියාව ‘වීරයා’ කොට සමරනවා. 2015 ජනවාරි 08 වැනිදා ලැබුණු ‘වෙනස’ එයයි. 2009 මැයි 18 වැනිදා ත්‍රස්තවාදය ඉවර කළාට දෙමළ ජාතිවාදී, බෙදුම්වාදය දේශපාලනිකව, මතවාදීව ඉවර වුණේ නැහැ. දෙමළ ජාතිවාදී බෙදුම්වාදී ව්‍යාපාරය විසින් අලුත් පරම්පරාවේ ඔළුවලට ඇතුළත්කර තිබූ ජාතිවාදී විස, හරණය කිරීම මෙහිදී ප්‍රධාන වශයෙන් සිදු විය යුතුව තිබුණා. ඒ සඳහා යම් කාලයක් අවශ්‍යයි. ඒ ක්‍රියාවලිය යුද්ධයෙන් පසුව සිදු වෙමින් තිබියදී තමයි, මේ දෙමළ ජාතිවාදී බෙදුම්වාදී කල්ලිවල සහයෝගයෙන් රනිල් – මෛත්‍රී හවුල බලයට ආවේ. ඒ නිසා මේ පාලනය අලුත් පරම්පරාවේ ඔළුවලට ඇතුළත්කර ඇති ජාතිවාදී විස හරණය කරනවා වෙනුවට විස වර්ධනය කිරිමේ ව්‍යාපෘතියක නිරතව සිටිනවා. එහි තීරණාත්මක පියවරක් ලෙස තමන්ට බලයට එන්න උදව් කරපු දෙමළ ජාතිවාදී, බෙදුම්වාදී කල්ලි ඉල්ලන දොල පිදේනි, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ලෙස ගෙන එන්න තමයි දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයලා කඩිනමින් කටයුතු කරමින් ඉන්නේ.

‘නව ව්‍යවස්ථාව කඩිමුඩියේ හැදෙන හැටි’

පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත කරලා, 2017 මාර්තු මාසයට පෙර ජනමතවිචාරණයට දමලා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩිනමින් ගෙන එන්න සියල්ල සූදානම්කර තිබෙනවා. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට නිර්දේශ ඉදිරිපත් කරන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් අනුකමිටු 06ක් හැදුවා. ඒ අනුකමිටු 06 පසුගියදා තමන්ගේ වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒ වාර්තා පිළිබඳව විවාද කිරීම 2017 ජනවාරි 09 වැනිදා සිට දින තුනක් ඇතුළත අවසන් කළ යුතුයි. ඊට පසුව ඒ වාර්තා අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් තිබෙන මෙහෙයුම් මණ්ඩලයට යවනවා. එතැනදී අවශ්‍ය නම් පමණක් වෙනස්කම් සිදු කරනවා. නැත්තම් ඒ අනුකමිටු වාර්තාවල ඇතුළත් නිර්දේශවලින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත හදලා යළි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඒකට තුනෙන් දෙකක් ලැබුණා කියලා හිතමු. ඊට පසුව ඒ කෙටුම්පත, කැබිනට් අනුමැතියටත් ගිහින් අපි ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කළොත් ඒක ශ්‍රේෂ්ඨාධිකරණයටත් ගිහින් ආපසු අවසාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ලෙස පාර්ලිමේන්තුවට ඒවි.

‘මධ්‍යම- පර්යන්ත සබඳතා පිළිබඳ අනුකමිටු වාර්තාව’

2017 ජනවාරි 09,10 හා 11 යන තෙදින තුළ පාර්ලිමේන්තුවේ විවාදයට ගැනෙන්නේ ඉහත කී අනුකමිටු 06 විසින් සිය නිර්දේශ ඇතුළත්කොට සැකසූ වාර්තා 06 පිළිබඳවයි. මේ අනුකමිටු 06 අතුරින් සාමාන්‍ය පුද්ගලයකුට තේරුම්ගත නොහැකි නමක් ඇති අනුකමිටුවක් තිබෙනවා. ඒ තමයි ‘මධ්‍යම – පර්යන්ත සබඳතා පිළිබඳ අනුකාරක සභාව. මේක ‘බලය බෙදීමේ නිර්දේශ ඇතුළත් අනුකමිටු වාර්තාව’ ලෙස නම් කළා නම් කාගෙත් අවධානය යොමු වෙනවා. නමුත් කොළේ වහලා ඉහත කී නම දමලා තිබෙනවා. මේ වාර්තාවේ තිබෙන්නේ මධ්‍යම ආණ්ඩුව සහ පළාත් සභාව අතර බලතල බෙදී යන ආකාරය පිළිබඳවයි. මේ වාර්තාවේ තිබෙන නිර්දේශ ක්‍රියාත්මක වුණොත් මධ්‍යම ආණ්ඩුව වාෂ්ප වෙනවා, පළාත් සභාව පූර්ණ බලැති ආයතනයක් බවට පත් වෙනවා.

‘සමගාමී ලැයිස්තුව ඉවත් කිරීම’

චන්ද්‍රිකාගේ පැකේජය හදපු නීතිඥ ජයම්පති වික්‍රමරත්න තමයි රනිල් වික්‍රමසිංහගෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීකමක් ඉල්ලාගෙන ඇවිත් දෙමළ ජාතික සන්ධානයට අවශ්‍ය ආකාරයට මේ වාර්තාව හැදුවේ. ජයම්පති වික්‍රමරත්න කියන්නේ එන්ජීඕ කාක්කෙක්. උන්නැහේට මේ වැඬේ කරනවාට බටහිර රටවලින් මුදල් ලැබෙනවා. මේ වාර්තාවෙන් නව ව්‍යවස්ථාව සඳහා ප්‍රධාන නිර්දේශ කිහිපයක්ම ඉදිරිපත් කරනවා. එකක් තමයි 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ගෙන ආ සමගාමී ලැයිස්තුව ඉවත් කිරීම. මධ්‍යම ආණ්ඩුව සහ පළාත් සභාව යන දෙකටම අයත් විෂයන් හෙවත් බලතල තමයි මෙහි අන්තර්ගත වූයේ. සමගාමී ලැයිස්තුව ඉවත් කළාම සමගාමී ලැයිස්තුවේ තිබූ විෂයන් සියල්ලම පළාත් සභාවට ලැබෙනවා. දැන් සමගාමී ලැයිස්තුවේ ඇති විෂයන්ට අදාළව පාර්ලිමේන්තුවට නීති හදන්න පුළුවන්. නමුත් නව ව්‍යවස්ථාවෙන් ඒ බලය පාර්ලිමේන්තුවට අහිමි වෙනවා.

‘ජාතික ප්‍රතිපත්ති හැදීමේ බලය මධ්‍යම ආණ්ඩුවෙන් ඉවත් කිරීම’

ඊළඟට මේ වාර්තාවෙන් නිර්දේශකර තිබෙනවා ‘මධ්‍යම ආණ්ඩුව සතු ජාතික ප්‍රතිපත්ති සෑදීමේ බලය ඉවත් කරන්න. එහෙම වුණොත් ජාතික ප්‍රතිපත්ති හදන්නේ කවුද? නව ව්‍යවස්ථාව සම්මත වුණොත් මධ්‍යම ආණ්ඩුවක් නමට තිබෙයි. නමුත් ඒකට ජාතික ප්‍රතිපත්ති හදන්න බැහැ. පළාත් ඒකක 05ක්, 07ක් හෝ 09ක් නිර්මාණය වේවි. ඒවා පළාතට අදාළව වෙන වෙනම ප්‍රතිපත්ති සකස් කරමින් එකිනෙකින් ස්වායක්තව පවතීවි.

‘පරමාධිපත්‍ය බලය බෙදීම’

මේ රටේ ජනතාව සතු පරමාධිපත්‍ය බලය විධායක, ව්‍යවස්ථාදායක හා අධිකරණ වශයෙන් කොටස් තුනකට බෙදා තිබෙනවා. විධායක බලය ජනතාවගේ ඡන්දයෙන් තේරී පත් වන ජනාධිපතිවරයා විසිනුත් ව්‍යවස්ථාදායක බලය ජනතාවගේ ඡන්දයෙන් තේරී පත්වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනා විසිනුත් අධිකරණ බලය පාර්ලිමේන්තුව විසින් අධිකරණය හරහාත් ක්‍රියාවට නංවනවා. දැනට පවතින රටේ මූලික නීතිය අනුව ජනතා පරමාධිපත්‍ය බලය ක්‍රියාවට නැංවෙන්නේ එහෙමයි. දැන් මේ වාර්තාවෙන් නිර්දේශ කරනවා, ‘පරමාධිපත්‍ය බලය පාර්ලිමේන්තුවට පමණක් නොව පළාත් සභාව හා ප්‍රාදේශීය සභාව අතර ද බෙදී යා යුතුයි’ කියලා. මේ හදන්නේ පළාත් සභාවට ප්‍රාදේශීය සභාවට පරමාධිපත්‍ය බලය දෙන්නද? නැහැ. මෙතැන තිබෙන්නේ බෙදුම්වාදී උවමනාවක්. ඉන්දුනීසියාවෙන් නැඟෙනහිර ටිමෝරය වෙන් වී ගියාට පසුව ඊට එරෙහිව ජාත්‍යන්තර අධිකරණයේ නඩුවක් පැවරුවා. නමුත් එහිදී ජාත්‍යන්තර අධිකරණය විසින් තීන්දු කළා ‘නැගෙනහිර ටිමෝරය ඉන්දුනීසියාව යටතේ පාලනය වන විට එයට පරමාධිපත්‍ය බලය තිබුණා. ඒ නිසා නැඟෙනහිර ටිමෝරය වෙනම රටක් ලෙස පිළි ගන්නවා’ කියලා. ඒ අනුව යමින් අනාගතයේදී පිහිටුවනු ලබන උතුරු- නැගෙනහිර පළාත් සභාවටත් පරමාධිපත්‍ය බලය දෙන්න ඕනෙ. එවිට තමයි කවදාහරි උතුරු – නැඟෙනහිර පළාත් සභාවටත් ජාත්‍යන්තර නීතිය හමුවේ අභියෝග කරලා වෙනම රටක් හදා ගන්න පුළුවන් වෙන්නේ. මේ නිර්දේශය ක්‍රියාත්මක වුවහොත් පළාත් සභාවට සහ ප්‍රාදේශීය සභාවලට පරමාධිපත්‍ය බලය ලැබෙනවා වගේම පළාත තුළ ප්‍රාදේශීය සභා, පළාත් සභාවට යටත් කෙරෙනවා.

‘දිස්ත්‍රික් ලේකම් පළාත් සභාව යටතට’

මෙතෙක් දිස්ත්‍රික්කයේ ප්‍රධාන පරිපාලන නිලධාරියා වූ දිස්ත්‍රික් ලේකම් සහ ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු වෙනත් ඉහළ පරිපාලන නිලධාරීන් කටයුතු කළේ මධ්‍යම ආණ්ඩුව යටතේයි. නමුත් ඉහත කී අනුකමිටු වාර්තාවෙන් නිර්දේශ කරනවා, මේ නිලධාරීන් පළාත් සභාව යටතට ගැනීමට. ඒ අනුව රාජ්‍ය පරිපාලන යාන්ත්‍රණය මුළුමනින්ම පළාත් සභාව අතට යනවා. රාජ්‍ය සේවයේ දීපව්‍යාප්ත සේවාවන් රැසක් කපා හැරලා ඒවා පළාත් සභාවට පැවරීම, පූර්ණ බලැති පළාත් රාජ්‍ය සේවා කොමිසමක් පිහිටුවීම ආදී නිර්දේශයන් ද මෙහි අඩංගුයි.

‘ඉඩම් සියල්ල පළාත් සභාවට’

ඉඩම් සියල්ල පළාත් සභාව යටතට පත් කිරීමත් මෙහි ඇති තවත් එක් නිර්දේශයක්. නාගරික සංවර්ධන අධිකාරිය, මහවැලි අධිකාරිය වැනි රජයේ ආයතන සතු ඉඩම් ද මේ අනුව පළාත් සභාවට හිමි වන බව මෙහි සඳහන්. අද උතුරේ පන්සල් ඉවත් කරන්න කතා කරන උතුරු පළාත් සභාව මේ ආකාරයට ලැබෙන ඉඩම් බලතල ජාතිවාදී උවමනාවන් වෙනුවෙන් පාවිච්චි නොකර ඉඳීවිද?

‘පොලිස් බලතලත් දෙනවා’

පළාතට අදාළ පූර්ණ පොලිස් බලතල පළාත් සභාවට ලබාදීමටත් මෙමගින් නිර්දේශ කරනවා. මහ ඇමතිවරයා විසින් තමයි පළාත් පොලිස් කොමිසමේ සාමාජිකයන් පත් කරන්නේ. ඒ විතරක් නෙවෙයි, ‘පළාත් පොලිස් ප්‍රධානියා හෙවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා කවුද? කියා තීරණය කරන්නෙත් මහ ඇමතිවරයා. ඒ නියෝජ්‍ය පොලිස්පතිවරයා ක්‍රියාත්මක කළ යුත්තේ මහ ඇමතිවරයාගේ නිර්දේශයි. එහෙම වුණාම පුංචි හොඳක් තිබෙනවා. පොලිස්පති පූජිතව වැඩක් නැති වෙනවා. මහ ඇමතිවරයාගේ නිර්දේශ අනුවනේ පළාත් නියෝජ්‍ය පොලිස්පතිවරු කටයුතු කරන්නේ (සභාවේ සිනා). මෙවැනි නිර්දේශ අඩංගු නව ව්‍යවස්ථාවක් ආවාම උතුරු පළාත් සභාවට ලැබෙන මේ ඉඩම්, පොලිස් බලතල හා රාජ්‍ය පරිපාලන බලය ජාතිවාදී උවමනාවන් වෙනුවෙන් යොදා නොගෙන ඉඳීවිද?

‘පළාත් සභාවට මුදල් බලතල’

පළාත් සභාවට පරමාධිපත්‍ය බලය විතරක් නොවෙයි මුදල් බලයත් ලබා දීමට මෙම අනුකමිටු වාර්තාවෙන් නිර්දේශකර තිබෙනවා. විදේශ රටවල් සමඟ ණය ගනුදෙනු කිරීමට සහ ඒ සඳහා අවශ්‍ය නීති සම්පාදනය කිරීමට මෙමගින් පළාත් සභාවට හැකි වෙනවා.

‘ජාතිවාදී නායකත්වයකට මේ බලතල සියල්ල දුන්විට…’

අද යාපනය විශ්ව විද්‍යාලය තුළ සිංහල සංස්කෘතිකාංගයක් රඟ දක්වන විට සිංහල සිසුන්ට පහර දෙනවා. ඒ වගේම පහන් පත්තු කරලා වේළුපිල්ලේ පිරබාහරන් සමරනවා. ‘උතුරෙන් සිංහල ජනයා ඉවත් විය යුතුයි’ කියලා මහ ඇමති විග්නේෂ්වරන් පාරම්බානවා. එවැනි ජාතිවාදී නායකත්වයක් සහ බලවේගයක් සිටින පළාතකට පොලීසිය පාලනය කිරිමේ බලය, රාජ්‍ය යාන්ත්‍රණය පාලනය කිරිමේ බලය, පළාත් ඉඩම් පිළිබඳ තීන්දු ගැනීමේ බලය, විදේශ රටවල් සමඟ ණය ගනුදෙනු කිරිමේ බලය හා ප්‍රඥප්ති වෙනුවට නීති සැදීමේ බලය ලබා දුන්නාම කුමක් සිදු වේවිද?

රනිල් වික්‍රමසිංහට අවශ්‍ය මේ බලතල සියල්ල ඇතුළත් දොල පිදේනිය දෙමළ ජාතිවාදී බෙදුම්වාදී කල්ලිවලට දීලා 2017 මාර්තුවේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවට ගිහිල්ලා ‘හොඳ ළමයා වෙන්න.’ ඒකට දැන් කඩිමුඩියේ එයා සූදානම් වෙනවා. එදා මෙවැනි බෙදුම්වාදී උවමනාවන්ට විරුද්ධව රටම පෙළගැස්වූ ජනතා විමුක්ති පෙරමුණ අද මේ ගැන හීන් කෙඳිරියක්වත් නඟන්නේ නැහැ.

2015 ජනවාරි 08 වැනිදා රැවටුණු ජනතාව නිහඬව බලා සිටියා දැන් හොඳටම ඇති. රට, ජාතිය බේරා ගැනීමට නම් මේ ද්‍රෝහී නඩයේ දේශපාලන ගමන නතර කළ යුතුයි. ඒ සඳහා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එරෙහිව ජාතිය මහ පාරට බැස්සවිය යුතුයි. ජාතිය පාරට බස්සවන්නනම් මේ විපත පිළිබඳව ජනතාවට හොඳින් තේරුම්කර දිය යුතුයි. ඒ සඳහා ධෛර්යවන්තව කැපවීමට ඔබ සැමට ශක්තිය ලැබේවා!”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

37 views

7 Comments to “උතුරෙන් සිංහලයන් එලවන්න කතා කරන විග්නේෂ්වරන්ට අලූත් ව්‍යවස්ථාවෙන් ඉඩම්, පොලිස් බලය”

  1. neil says:

    What a great job this person is doing. He is blessed with knowledge, articulation ability and harmonise and harness both for the good of the Sri Lanka. We need to listen to this person. We have voice in him. His words are our words.

  2. sam says:

    They should never be given the land and police powers these people are racist who have no empathy

  3. sira says:

    Rata hedhuwanam Mahindata chance eka aapu welaawe, rata mehema thathweta path wenne nehe. Palaath sabhaa ayin kalee nehe, Constitute eka hari widhiyata hedhuwe nehe. Dhen ithin rata amathaka karala, rata hambayata deela muhudhata penapalla.

  4. WELL SAID AS ALWAYS HON WIMAL WEERAWANSA…….JAYA WEWAAAAAAAA!!!!!!!!

  5. john says:

    hidiye mokada wywasthawak!yanne koheda me

  6. Champa says:

    Super, super, super speech, as usual.

    “රට අනතුරේ කළ යුත්තේ කුමක්ද?” – විමල් ආපහු සම්මන්ත්‍රණ මාලාවක් වේලාසනම පටන් ගත්ත එක ගැන සන්තෝෂයි. ඔබ රට වෙනුවෙන් හැමදාම කරන මෙහෙවර, අවදි නොවී ඉන්න ජනතාව අවදි කරන සහ අවදියෙන් ඉන්න ජනතාව එක්ක සම්බන්ධතාව තබා ගන්න ඔබේ සම්මන්ත්‍රණ වලින් සිද්ධ වෙන සේවය වචන වලින් කියනවාට වඩා හුඟක් වැඩියි.

    විමල් පැහැදිලි කරපු විදියට නව ව්‍යවස්ථාවකින් දෙන පළාත් වලට දෙන බලතල මේ විදියට වෙන් කරන්න පුළුවන්.

    1. සමගාමී ලැයිස්තුව ඉවත් කිරීම.
    2. පරමාධිපත්‍ය බලය
    3. පරිපාලන බලය
    4. නීති සෑදීමේ බලය
    5. ජාතික ප්‍රතිපත්ති සැදීමේ බලය
    6. මුදල් බලය
    7. ඉඩම් බලය
    8. පොලිස් බලය

    මේක බලපුවහම ඕනේ කෙනෙකුට තේරෙනවා මේ තියෙන්නේ බලය බෙදීමක්ද? නැහැ, මේ තියෙන්නේ නැති බලයක් ලබා දීමක්.

    අර කෙටුම්පතට නම දාන්න ඕනේ “මධ්‍යම–පර්යන්ත සබඳතා පිළිබඳ අනුකාරක සභාවේ වාර්තාව” කියලා නෙමෙයි “මධ්‍යම–පර්යන්ත සබඳතා -අහෝසි කිරීම- පිළිබඳ අනුකාරක සභාවේ වාර්තාව” කියලා. නැත්නම් විමල් කිව්වා වගේ “බලය බෙදීමේ නිර්දේශ ඇතුළත් අනුකමිටු වාර්තාව” කියලා කියන්න.

    ෆෙඩරල් ව්‍යවස්ථාව ගැන කතා කරන කොට අනිත් පළාත් ගැන අපි කතා කරන්නේ නැහැ. ඒ මොකොද කිව්වා නම් ඒ පලාත්වල ජන අනුපාතය රටේ බහුතර ජනගහනයට අනුකූල නිසා. නමුත් උතුරු සහ නැගෙනහිර පළාත්වල ජනගහනය රටේ ජන අනුපාතයට අනුකූල නැහැ. ඒ පළාත් වල පාලනය සුළු ජාතීන් ඉල්ලන්නේ සුළු ජාතික ආණ්ඩු හදන්න. මෙහෙම සුළු ජාතික පළාත් ආණ්ඩු කියලා ජාතියක් ලෝකේ කිසිම ෆෙඩරල් රටක නැහැ. එහෙම බලයක් දෙන්න නැත්තේ ඊට පස්සේ ඒ පළාත් මධ්‍යම රජයෙන් වෙන්වෙලා, එහෙම නැත්නම් ෆෙඩරල් රජයෙන් වෙන්වෙලා ස්වාධීන රාජ්‍ය බවට පත් වෙන නිසා.

    අපේ රටේ මිනිස්සුන්ට මේ තරම් සරල දෙයක් තේරුම් ගන්න බැරිද, විමල්?

    සමගාමී ලැයිස්තුව ඉවත් කරනවා කිව්වට පස්සේ තවත් කතා කරන්න දෙයක් නැහැ. හැම ෆෙඩරල් රටකම තියෙනවා ලැයිස්තු 3ක්. එහෙම නොවෙන රටක් දෙකක් තියෙනවා. අපිට ඒක (dualism) අදාළ නැහැ.

    1. Central/Federal/Union Government list – මධ්‍යම ආණ්ඩුවේ බලතල පිලිබඳ ලැයිස්තුව
    2. State/Provincial list – පළාත් සභා/පළාත් ආණ්ඩු ලැයිස්තුව
    3. Concurrent list – සමගාමී ලැයිස්තුව

    රනිල්ගේ NGO කුක්කෝ හදන නව ව්‍යවස්ථාවෙන් සමගාමී ලැයිස්තුව ඉවත් කරන්නේ උතුරු නැගෙනහිර ජාතිවාදී බෙදුම්වාදී දේශපාලකයන් ඉතිහාසය පුරා ඉල්ලපු වෙනම රාජ්‍යය දෙන්න මිසක් වෙන මොකොටද? මේ ඔක්කොම ස්වයං පාලනයක, ස්වාධීන රටක අංග ලක්ෂණ.

    තව මේ ගැන කියන්න තිබුනත්, මම ඒවා ඔබේ ඊළඟ සම්මන්ත්‍රණයේ කරන කතාවේදී කියන්න තියා ගත්ත.

    රනිල්-සම්බන්ධන් පැකේජය පරාද කරන්න මුළු රටම එකට එකතු වෙන්න ඕනේ. විමල්, ඔබ ගිය අවුරුදේ “මහින්ද සුළඟ” ගෙනල්ලා රටම හෙල්ලුවා වගේ, ආණ්ඩුව හෙල්ලුවා වගේ “ෆෙඩරල් විරෝධී සුළඟක්” ගෙනල්ල මේ රට බෙදන ව්‍යවස්ථාව පරාජය කරන්න නායකත්වය දෙයි කියලා සිංහල ජනතාව අතර ලොකු විශ්වාසයක් තියෙනවා. අද වගේ නෙමෙයි, ජනවාරි මාසේ බලයට ඇවිල්ල ආණ්ඩුව හුඟක් බලවත් වෙලා හිටපු ගිය අවුරුද්දේ පෙබරවාරි මාසේ, ඔබ නැතුව වෙන කිසි කෙනෙක් කිව්වා නම් ගෙදර යවපු මහින්දව ආපහු බලයට ගේනවා කියලා, වෙන එකක් තියා මහින්දම කිව්වත් මිනිස්සු විශ්වාස කරන්නේ නැහැ. මිනිස්සු විශ්වාස කලේ ඔබ කියපු නිසා. ඒකයි මිනිස්සු මහින්ද නැතුවත් ඔබ, දිනේෂ්, වාසු, උදය හිටපු රැස්වීම් වලට ආවේ. ඔබ මහින්ද වෙනුවෙන් මිනිස්සුන්ව නැගිටුවා ගත්තත්, මහින්දට බලය ලැබුනේ නැත්තේ ඔබේවත් ජනතාවගේ වත් වරදින් නෙමෙයි.

    විමල්, එදා ඔබ දීපු නායකත්වය වගේම නායකත්වයක් අදත් ඔබ රටට දෙන්න ඕනේ. ජාති භේද, පාට පක්ෂ, පංති භේද නැතුව එදා ඔබේ රැස්වීම වලට මිනිස්සු ආවා. ඊට පස්සේ මම ඒ වගේ ජාති භේද, පාට, පක්ෂ, පංති භේද නැති ජන සහභාගිත්වයක් දැක්කේ පාද යාත්‍රාවේ. සාමාන්‍යයෙන් ලේසියෙන් පාරට ගන්න බැරි මධ්‍යම පන්තිය මේවාට සහභාගී වුනා. මහා බ්‍රිතාන්‍යයේ Brexit එකෙයි, ඇමරිකාවේ Trump Mania එකෙයි මූලිකත්වය අරන් ඉතිහාසගත විදියේ වෙනසක් කලේ ඒ රටවල මධ්‍යම පංතිය කියන එක අපි මතක කරන්න හොඳ නැහැ.

    රට පාවා දෙන ෆෙඩරල් ව්‍යවස්ථාවට එරෙහිව ඔබේ නායකත්වය අද එදාටත් වඩා තීරණාත්මකයි. එදා ඔබ මහින්ද වෙනුවෙන් මහ ජන පවුරක් ගොඩ නැගුවා. ඔබට අළුතීන් ගොඩ නගන්න දෙයක් නැහැ. ඒ ජාති භේද පාට පක්ෂ පංති භේද නැති ජනතාව අදත් ඒ විදියටම ඉන්නවා. නිහඬ වගේ පේන්නේ ඔවුන්ට නායකත්වයක් නැති නිසා. අද ඒ ජන පවුර ඔබ රට වෙනුවෙන් යොදා ගන්න ඕනේ. එදා මහින්ද වෙනුවෙන් ඔබ පාරට ගත්ත ජනතාවට වඩා වැඩි ජනතාවක් පාරට ගන්න ඔබට පුළුවන්. රට වෙනුවෙන් ඔබට කරන්න අද තියෙන ලොකුම යුතුකම, නායකත්වයක් නැති මේ ජනතාවට නායකත්වයක් දෙන එක. ඔබව දේශපාලකයෙක් විදියට ජනතාවට පෙන්නේ නැහැ. ඔබ අද්විතීය (unique) දේශප්‍රේමී විප්ලවවාදි නායකයෙක්. ඔබට සමාන කරලා කියන්න තව කෙනෙකුගේ නමක් මට නැහැ. ඔබට වෙන න්‍යාය පත්‍ර නැහැ කියල මුළු ලංකාවම දන්නවා.

    ඔබ වගේම රටට ආදරේ කරන ජනතාවක් ඔබ ගොඩ නගලා තියෙනවා. ඔබ ඒගැන ආඩම්බර වෙන්න ඕනේ. රට පාවා දෙන ෆෙඩරල් ව්‍යවස්ථාවට එරෙහිව මුළු රටම පාරට එනවා, අනිවාර්යයෙන්ම. මීට වඩා තවත් තර්ජනයක් අපේ රටට තියනවද? සිංහල අපේ උරුමය නැති කරන්න අපි කිසි කෙනෙකුට ඉඩ දෙන්නේ නැහැ. ධීර වීර ශූර සිංහල අපේ ප්‍රෞඩ ඉතිහාසය මුලිනුපුටා දමන්න, අපේ සිංහල උරුමය අපේ පොළොවෙන් නැති කරලා, සිංහල අපිව කොටස් වලට බෙදලා, පළාත් වලට බෙදලා, මිනිස්සුන්ගේ දේශානුරාගය කුඩා ප්‍රදේශ වලට සීමා කරලා, මුළු රටම පාවා දෙන්න මේ පරඬල් දෙකකට ඉඩ දෙන්න පුලුවන්ද?

    ඔබ අපේ ප්‍රෞඩ ඉතිහාසය ගැන කියනවට මට හරිම කැමතියි. ඔබ කිව්වා වගේ අපේ මිනිස්සු හුඟ දෙනෙක් දන්නේ නැහැ. අර ග්‍රෙනේදා (Grenade) කතාව ඇත්තටම මමත් ඉස්සෙල්ලම ඇහුවේ ඔබෙන්. ඒ වගේ ආඩම්බරෙන් හිත පිරෙන, සිංහලයෙක් වෙලා ඉපදීම ගැන හදවත උණුසුම් වෙන කතා අහන්න මම හරිම ආසයි. අපිට ආඩම්බර වෙන්න ඕනේ කොයි තරම් දේවල් අපේ ඉතිහාසය පුරා තියෙනවද? ඔබ ආයේ විවෘත වේදිකාවේ කතා කරන්නේ කවදද? අර නුගේගොඩ කළා වගේ ඉතිහාසගත වෙන කතාවක් කරලා ජනතාව තුල රට ගැන තියෙන ආදරය ඔබ ආපහු අළුත් කරනවා දකින්න ආසයි.

    තව කොටසකුත් තියෙනවා කියන්න.

    විමල්, ඔබේ මේ සම්මන්ත්‍රණය අහන්න ඇවිල්ල ඉන්න ජනතාවගේ වෙනසක් මම මේ පාර දැක්කා. කාන්තා සහභාගිත්වය වැඩියි නේද? ඒක දැක්කම මට සෑහෙන සන්තෝෂ හිතුනා. මින් ඉදිරියට ඔබේ සංවිධායකයෝ ඒ ගැන වැඩි අවධානයක් යොමු කරයි කියලා මම හිතනවා. ඔබේ සම්මන්ත්‍රණ සඳහා කාන්තාවෝ වැඩි වැඩියෙන් ගෙන්වා ගැනීම කල යුතුයි කියල මට හිතුනා. 2010 මහින්දයි ෆොන්සේකායි ජනාධිපති තනතුරට තරඟ කරනකොට මාධ්‍ය විසින් මතයක් හදලා තිබුනා තරඟය 50:50 කියලා. හැබැයි අන්තිම මොහෙතේ කාන්තාවෝ ඒ මතය වෙනස් කළා. වෙනදා චන්ද ගැන උනන්දුවක් නොතිබුණු කාන්තාවෝ වැල නොකැඩී චන්ද පොළවල් වලට ආවා. මම හිතන්නේ මැතිවරණයක තිබුණු වැඩිම කාන්තා සහභාගිත්වය. 2010 මහින්දව දිනවන්න පෙරමුණ ගත්තේ කාන්තාවෝ. මට මතක හැටියට වැඩි චන්ද ලක්ෂ 18කින් මහින්ද දිනුවා.

    ෆෙඩරල් ව්‍යවස්ථාව ගැන ඔබ මේ කරන දැනුවත් කිරීම් වලදී කාන්තාවන් වැඩිපුර සහභාගී කරගන්න උනන්දු වෙනවා නම් හොඳයි කියලා මට හිතෙනවා.

    ඉස්සර නම් කිව්වේ කාන්තා නුවණේ දිග හැඳි මිට තරම් කියලයි. අපේ රටේ කාන්තාවෝ ටෙලිනාට්‍ය (විමල් කියපු ටෙලිනාට්‍යය මොකක්ද කියලා මම දන්නේ නැහැ) හැබැහින් බලල මදිවට හීනෙනුත් බලන “බොළඳ, සීනිබෝල” චරිත කියලා විමල් “කෝචොක්” කරන එක නවත්තන්න නම් රටට සිද්ධ වෙන්න යන අනතුර ගැන කාන්තාවෝ දැනුවත් වෙන්න ඕනේ. විමල් කියන ෆෙඩරල් ව්‍යවස්ථාව ගැන කතාවට ඇහුම් කන් දෙන්න ඕනේ. පත්තර වල ඒ ගැන විමල් කියලා තියෙන දේවල් කියවන්න ඕනේ. ඒ ගැන හොඳින් තේරුම් ගන්න ඕනේ. ඒ ගැන මහජනතාව දැනුවත් කරන විමල්ගේ Videos බලන්න ඕනේ. දරුවන් ඉන්න අම්මලාට පුළුවන් ඒගොල්ලෝ ලව්වා විමල්ගේ සම්මන්ත්‍රණ වල Vidoes දාගෙන බලන්න. හැබැයි එකක් තියෙන්නේ ඊට පස්සේ වෙන්නේ මට වගේම “සිහින නුඹ නැතුව නොපෙනේ” කියලා කියන්න. මොකොද ඊට පස්සේ පේන්න ගන්නේ විමල්ව. මට නම් දැන් බේතකටවත් වෙන කාවවත් හීනෙන් පේන්නෙ නැහැ. විමල් මගෙ හැම හීනෙම invade කරනවා. හරිම අසාධාරණයි.

    විමල් ඔබ රට වෙනුවෙන් කරන උදාර මෙහෙවර ඉහලින්ම කරන්නට ඔබට යෝධ බල යෝධ වීර්යයත්, දළදා සමිඳු පිහිටත්, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ගේ ආශීර්වාදයත්, රුහුණු කතරගම කඳ සුරිඳුන්ගේ රැකවරණයත් ප්‍රාර්ථනා කරනවා.

Main News