29 සිට දීප ව්‍යාප්ත මදුරු මර්දන සතියක්..

March 29, 2017 at 2:06 am | lanka C news
29 සිට දීප ව්‍යාප්ත මදුරු මර්දන සතියක්..

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත අද (29) දින සිට දීප ව්‍යාප්ත මදුරු මර්දන සතියක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ජාතික ඩෙංගු මර්දන ඒකකය කටයුතු යොදා ඇත.

දිවයින පුරා ඩෙංගු රෝගය මෙි වනවිට පැතිර යමින් පවතින අතර, 2017 වර්ෂයේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 24562 ක් වාර්තා වී ඇත. සිදුව ඇති මරණ සංඛ්‍යාව 40 කි. කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, මඩකළපුව, ත්‍රිකුණාමලය, යාපනය, කල්මුණේ, රත්නපුර, කෑගල්ල යන දිස්ත්‍රික්ක අවධානම් දිස්ත්‍රික්ක ලෙස නම් කර ඇත.

ඒ අනුව 2017 වර්ෂයේ පළමු වන මදුරු මර්දන වැඩසටහන මාර්තු 29 දින සිට අප්‍රේල් මස 04 දින දක්වා දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති අතර, ඒ සදහා ජනාධිපති කාර්ය සාධක බලකාය හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් සැදුම්ලත් කණ්ඩායම් 3000 ක් පමණ සහභාගිවීමට නියමිතය.

දැනට සිදු කරන ලද කීටවිද්‍යා සමීක්ෂණ දත්තවලට අනුව ආයතන, පාසල්, ඉදිකිරීම් පරිශ්‍ර හා ආගමික ස්ථාන තවදුරටත් ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන බහුලව පවතින අවධානම් පරිශ්‍ර ලෙස හදුනාගෙන ඇත. එබැවින් මෙම මදුරු මර්දන සතිය පුරාවටම එම කණ්ඩායම් මගින් ඉහත අවධානම් පරිශ්‍ර පරීක්ෂාවට ලක් කිරීමට නියමිත වෙි.

ඩෙංගු රෝගය වළක්වා ජීවීත සුරකීමට පහත සදහන් ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතු බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කර සිටිී. ඒ අනුව වෛද්‍ය උපදෙස් ලබාගැනීම යටතේ දින දෙකකට වඩා උණ පවතී නම් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු වෙත හෝ ළගම ඇති රෝහලකට යා යුතු වන අතර, අවධානම් ලක්ෂණ මතුවීමට පෙර වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙසත්, පැරසිටමෝල් ඖෂධය නියමිත මාත්‍රාවෙන් ගැනීම හැර වෙනත් කිසිදු වෙිදනා නාශකයක් භාවිතා කිරීමෙන් වළකින ලෙස ද උණ සහිත කාලයේ දී මදුරු දැලක් භාවිත කරන ලෙස ද දැනුම් දේ. එමෙන්ම මදුරු කීටයින් බෝවන ස්ථාන සොයාබලා කඩිනමින් විනාශ කිරීමට කටයුතු කළ යුතු බව ද වැඩිදුරටත් දන්වා සිටි.

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය

4 views

One Comment to “29 සිට දීප ව්‍යාප්ත මදුරු මර්දන සතියක්..”

  1. daya s says:

    මදුරුවොන්ගෙ අම්මලාට _කාගන්න කියල නරකද “මදුරු උගුල්” ටිකක් හයි කරොත් ඩෙංගු රෝගියෙක් වාර්ථා වෙච්ච තැනක. හෝ කැමති තැනක.

    ඔය දුම් ගහන එකෙන් මදුරුවොන්ට වඩා ලොකු පොඩි හිතකර කෘමීනුත් විනශ වෙනව.
    මිනිස්සුන්ටත් සත්තුන්ට විසයි. මාස ගනන් වල පොඩි උන්ටත්
    හරි උගුලක් හයි කරොත් මදුරුවො විතරක් ඉවරයක් කරන්න පුලුවන්
    උගුල් වඩේ පව් නම්
    Use BTI
    අවුරුදු ගානක් දුම් ගහල එක ඩෙංගු රෝගියෙක් වාර්ථා නොවී තියෙන්න ඕනනෙ

    මේව කරන්නෙ නැත්තම් කියන්න තියෙන්නෙ මෙක වවාගෙන කෑමක්
    (නැත්තම් අර විල්පත්තුව කපන එකා වගේ රටම කාන්තාරයක් කරන්න ඕන.
    ඒත් කාන්තාර වලත් මදුරුවො නම් ඉන්නව)
    නැත්තම් මොකද්ද?

Main News