21 සියවසේ ආර්ථික කේන්ද්‍රය ආසියාවට පැමිණ තිබෙනවා.. අවස්තාව මගහැරගන්න එපා..- රටම ගොඩදාන හැටි ගෝටා කියයි..

March 24, 2019 at 3:00 pm | lanka C news
21 සියවසේ ආර්ථික කේන්ද්‍රය ආසියාවට පැමිණ තිබෙනවා.. අවස්තාව මගහැරගන්න එපා..- රටම ගොඩදාන හැටි ගෝටා කියයි..

කොටිකාවත්ත සණස උත්සව ශාලාවේ පැවති ‘එළිය’ සම්මන්ත්‍රණයට එක්වෙමින් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙම අදහස් පල කලේය.

වත්මන් රජය ගෙන ඒමට හදන නව ව්‍යවස්ථාව හරහා දුර්වල රජයක් තමයි බිහිවෙන්නේ. රජයක් දුර්වල වුවහොත් රටත් දුර්වල වෙනවා. අපේ රට අද පත්වෙලා තිබෙන තත්ත්වය දෙස බැලීමේදී අපි ඉදිරියේ විශාල අභියෝගයන් රැසක් තිබෙනවා. ඉදිරියේදී මේ රට අපි භාර ගන්නවා නම් මේ අභියෝගයන්ට මුහුණ දීමට සිදුවෙනවා. 2004 මහින්ද රාජපක්‍ෂ මහතා රජය භාර ගත්තේ විශාල අභියෝග රැසක් මැදයි. හිටපු නායකයන් වසර ගණනාවක් තිස්සේ මේ රට වැරදි ආකාරයටයි පාලනය කළේ. වසර තිහක් තිස්සේ පැවති ත්‍රස්තවාදය නිමා කළා. අපේ සැලසුම්, දැක්ම නිසා පශ්චාත් යුද සමයේ විශාල වැඩ කොටසක් කළා. මේ සටන කළේ එක ජන කොටසක් ඉලක්ක කරගෙන නෙමෙයි. ත්‍රස්තවාදීන් ඉලක්ක කරගෙනයි අපි සටන මෙහෙයවූයේ. උතුරු නැගෙනහිර ජනතාවගේ ජීවනෝපාය නංවන්න විශාල වැඩකොටසක් සිදුකළා. ජිනීවාහි ගෙන එන්නට හදන යෝජනාවලට අපි එදා කළ දේවල් ඇතුළත් වෙලා නැහැ. රජයට භාර වූ සියලුම කොටි සාමාජිකයන් පුනරුත්ථාපනය කිරීමට කටයුතු කළා. මේ ප්‍රදේශය තුළ ලක්‍ෂ තුනක් වූ අවතැන් ජනතාව පදිංචි කිරීමට සිදුවුණා. ඊට පෙර එම ප්‍රදේශවල තිබූ බිම්බෝම්බ ඉවත් කරන්නට සිදුවුණා. ඒ සඳහා රාජ්‍ය නොවන සංවිධානවල ද සහාය ඇතිව යුද හමුදාවේ මැදිහත්වීමෙන් කෙටි කාලයක් තුළ බිම්බෝම්බ ඉවත් කිරීමට කටයුතු කළා. අද ඒ ප්‍රදේශවල දකින සංවර්ධනය අපි එදා කළේ ඉතා කෙටි කාලයක් තුළයි. යාපනයේ එදා දක්නට ලැබුණේ බංකර්. හැමතැනම  හමුදාව  හිටියා. පලාලි අධිආරක්‍ෂිත කලාපය ඇතුළු යුදමය වශයෙන් වැදගත් ස්ථානවල පමණයි  හමුදා කඳවුරු ස්ථානගත කළේ. කිසිම සිද්ධියක් සිදුවීමට ඉඩ දුන්නේ නැහැ.

නිවැරදි තීරණ අරගෙන උතුරේ වගේම දකුණෙත් විශාල ජයග්‍රහණ ලැබුවා. ආසියාවේ හොඳම දියුණු වෙමින් පවතින නගරයක් ලෙස කොළඹ සංවර්ධනය කිරීමට කටයුතු කළා. ක්‍ෂණික ගංවතුර පාලනය කිරීමට අපි ව්‍යාපෘති ගෙන ආවා. ඇළ මාර්ග ප්‍රතිසංස්කරණය කළා. ඇවිදින මංමාවත් තුළින් ජනතා හිතකාමී නගරයක් වශයෙන් කොළඹ ඇති සංවර්ධනය කළා. මේවා අපි කළේ ඉතා කෙටි කාලයක් තුළයි. අපිට අභියෝගවලට මුහුණ දීමට සිදුව තිබෙන්නේ කතාවෙන් පමණක් නෙමෙයි.  අද රටේ නායකයන් විශාල ව්‍යාපෘති ගැන කතා කරනවා. පාරේ යන  විට විශාල දැන්වීම් පුවරු නම් පේනවා. නමුත් ඒවා අද යථාර්ථයක් බවට පත්වෙලා නැහැ. ඒවා  හුදෙක්ම ජනතාව මුලාකරන වචන පමණයි. සෘජු විදේශ ආයෝජන ගේන එක ගැන කතා කරනවා. අපේ රටේ ව්‍යපාරිකයන් ඉන්නවා. ඔවුන්ට ඒ ව්‍යාපාර වටපිටාව හදලා දීලා නැහැ. දේශපාලන වශයෙන් රටක් ස්ථාවර විය යුතුයි. අස්ථාවර රටක ව්‍යාපාරිකයන් ආයෝජනය කරන්නේ නැහැ. අද ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් අතර තරගයක් තිබෙන්නේ.

නව ව්‍යවස්ථාව  හරහා ස්ථාවර රාජ්‍යයක් ඇති කරන්න පුළුවන්කමක් නැහැ. ලෝකයේ දියුණු වන රටකට ස්ථීර නිගමනයකින් තීන්දු තීරණ ගන්නට පුළුවන්කමක් තිබිය යුතුයි. ආයෝජකයන්ගෙන් අසීමිත ලෙස බදු අය කර ගන්නේ නැතිව ඔවුන් දිරිගැන්විය යුතුයි. ආයෝජන තුළින් රැකියා ලබාදිය හැකි වෙනවා. විවිධ අංශවලින් රට දියුණු කරන්න හැකියාව තිබෙනවා. අපේ රටේ පුහුණු කළ  හැකි  ශ්‍රම බළකායක් සිටිනවා. ලෝකයේ දැනුම, නවීන තාක්‍ෂණය, විද්‍යාව  මුල්කරගත් ශතවර්ෂයක්. අපි මේ ශතවර්ෂයට සූදානම් විය යුතුයි. සෑම වසරක් අවසානයේ උසස් පෙළ විශාල පිරිසක් සමත් වෙනවා. අවසානයේ විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්නේ තිස්පන්දහසක් පමණයි. අනික් සියලුම දෙනා අතරමං වෙනවා. එනිසා මේකට පිළිතුරක් ලබාදිය යුතු වෙනවා. විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරන ප්‍රමාණය වැඩි කළ යුතුයි. විශ්වවිද්‍යාලවල අධ්‍යාපන ක්‍රමයේ පවතින දුර්වලතා නිසා විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන පිරිසෙන් සුළු කොටසක් තමයි රටේ ආර්ථිකයට සෘජුවම සම්බන්ධ රැකියා සොයා ගන්නේ. අපි මේ ක්‍රමවේදයත් වෙනස් කළ යුතුයි. සෑම කෙනෙක්ටම රැකියාවක් ලබාගත හැකි නිපුණත්වයක් සහිතව ඔවුන් පුහුණු කළ යුතුයි. මේ අධ්‍යාපන ක්‍රමය තුළින් වසරින් වසර ඉදිරියට ගෙනගිහින් අවසානයේ අතරමං කරන්න අවශ්‍ය නැහැ. ඔවුන් රටේ සංවර්ධනය සඳහා යොදාගත යුතුයි.

විදේශීය ආයෝජන මේ රටට ගේනවා නම් දේශීය ව්‍යෘපාරිකයා ආරක්‍ෂා කරගත යුතුයි. කෘෂිකාර්මික රටක් වශයෙන් අපිට කෘෂිකර්මය අතහරින්න පුළුවන්කමක් නැහැ. අවාසනාවකට විදේශීය උපදේශකයන් කෘෂිකර්මාන්තයට දක්වන්නේ අඩු සැලකිල්ලක්. අද ලෝකයේ කතා වෙනවා ආරක්‍ෂිත සුරක්‍ෂිතතාව ගැන. අපි ආහාර නිෂ්පාදනය කරන්නේ නැතිනම් හැමදාම පිටරටින් ආහාර ගෙන්වන්න  පුළුවන්කමක් නැහැ. අපි 2015 වන විට සහල් අතින් ස්වයංපෝෂිත වෙලා තිබුණේ. දැන් යම්කිසි ප්‍රමාණයක් සහල් පිටරටින් ගේනවා. කුළුබඩුවලින් විශාල ප්‍රමාණයක් අපි වගා කර තිබුණා. අද බොහෝ කුළුබඩු ගේන්නේ පිටරටින්. කෘෂිකර්මාන්තයට මේ රජය දී තිබෙන වැරදි ප්‍රතිපත්ති නිසයි මෙවැනි දේවල් සිදුවෙලා තිබෙන්නේ. පෞද්ගලික අංශය මේවාට දිරිගන්වන්න පුළුවන්කමක් තිබෙනවා. ගොවීන්ගේ තම අස්වනු විකුණාගන්න බැරි වෙලා. ගොවීන්ගේ අස්වනු ගන්න ආයෝජකයන් ඉන්නවා. ගොවියාගේ ආදායම අපි ඉහළට ගත යුතුයි. තාක්‍ෂණය කෘෂිකර්මාන්තයට රැගෙන ආ යුතු වෙනවා.

දැක්මක් ඇතිව හරියාකාරව පාලනය කළහොත් මේ අභියෝග ජයගත හැකියි. අද කතා කරන ප්‍රධානතම දෙයක් තමයි විනය පිළිබඳව. නීතියක් නැති නිසා තමයි මෙවැනි තත්ත්වයකට අද රට  පත් වෙලා තිබෙන්නේ. අපි කතා කරන දේවල් සිහිනයක් විය යුතු නැහැ. බෝඞ්වලට සීමා විය යුතු නැහැ. අපි එදා කතා කළේ නැහැ. ඒ අභියෝගවලට සාර්ථකව මුහුණ දී ක්‍රියාවෙන් කරලා පෙන්නුවා. ඉදිරියේදී මේ අභියෝගවලට මුහුණ දෙන්න සූදානම්. 21 වැනි ශතවර්ෂයේ ආර්ථික කේන්ද්‍රය ආසියාවට පැමිණ තිබෙනවා. මේ හරහා අවස්ථාවන් විශාල ප්‍රමාණයක් විවෘත වෙනවා. නිසි දේශපාලන ස්ථාවරත්වයක්, ප්‍රතිපත්ති, සෘජු නායකත්වයක් තිබෙනවා නම් රට සංවර්ධනය කරන්න අවස්ථාව තවමත් තිබෙනවා. මේ අවස්ථාව අපෙන් ගිලිහෙලා යන්න නොදී රට සංවර්ධනය කරන්න හැකියාව ලැබෙයි කියා විශ්වාස කරනවා.

– චමින්ද කරුණාරත්න

85 views