හමුදාපති බදියුදීන්ට බය වෙලා.. සියළු කුණු හෝදා ඇමතිකමේ යලි දිවුරන්න සූට් මහයි..

July 4, 2019 at 3:22 am | lanka C news
හමුදාපති බදියුදීන්ට බය වෙලා.. සියළු කුණු හෝදා ඇමතිකමේ යලි දිවුරන්න සූට් මහයි..

2015 ජනවාරි 15 දින සිට 2018 දෙසැම්බර් 31 දිණ දක්වා කාලය තුල රජයේ ආයතනවල සිදු වී ඇතැයි සැලකෙන දූෂණ වංචා සම්බන්ධයෙන් සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂණ් සභාව ඉදිරියේ කරුණු දැක්වීමෙන් අනතුරුව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මාධ්‍ය වෙත දැක්වූ අදහස්.

රිෂාඩ් බදියුඩීන් මන්ත්‍රිවරයාගේ පවුලේ අයට මන්නාරමේ අක්කර 3000 කට අධික දේපලක් තිබෙන බවට වන සාක්ෂි මා ළඟ තිබෙන බවට ආණ්ඩුවේ දූෂණ සොයන කොමිසමට තොරතුරු ආරංචි වීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට අද දින මට කොමිසම ඉදිරියේ පෙනී සිටින්න යැයි දැනුම් දීමක් කළා. රිෂාඩ් බදියුඩීන් මන්ත්‍රිවරයාගේ පවුලේ අය 2011 ඔක්තෝම්බර් මාසයේ සිට 2014 ජූලි මාසය කියන තෙ වසරකටත් අඩු කාලයක් තුලදී මන්නාරමේ අක්කර 3000 කට අධික ප්‍රමාණයක් ඔප්පු හැට අටක් හරහා ලබාගෙන තියෙනවා. ඔප්පුවල වටිනාකමට අනුව නම් මිලියන දෙසිය හතළිහක් ඒ සඳහා වියදම් කර තිබෙනවා. අප මෙහිදී පෙන්වා දුන්නා මේ ඔප්පුවල නම් සඳහන් පුද්ගලයන් රිෂාඩ් බදියුඩීන් මන්ත්‍රිවරයාගේ නෑදෑයන් වන්නේ කොහොමද කියන එක. එමෙන්ම සමාගම් දෙකක් විසින් ද මෙහි දී පළ අත්පත්කරගෙන තිබුණා. රිෂාඩ් බදියුඩීන් මන්ත්‍රිවරයාගේ පවුලේ අයට ඒ සමාගම් අයිති වන්නේ කොහොමද, ඒ සමාගම් වල කොටස් හිමියන් විදිහට ඉන්නේ කොහොමද කියන සියලුම විස්තර අද දින මේ දූෂණ විමර්ශන කොමිසම වෙත අප ලබා දුන්නා.

මේ තොරතුරු මට ලැබුනෙ මන්නාරමි ජනතාවගෙන්. නමුත් මන්නාරමි ජනතාව තමන්ගේ ආරක්ෂාව පිළිබඳ ඇති වී තිබෙන ගැටළුත් සිය අනන්‍යතාව හෙළි කිරීමට අකමැති නිසා, ඔවුන් මා හරහා මේ තොරතුරු දූෂණ විමර්ශන කොමිසම වෙත භාරදීමට කටයුතු කර තියෙනවා.

අපට ආරංචිය රිෂාඩ් බදියුඩීන් මන්ත්‍රිතුමා යළිත් ඇමතිතුමා වෙන්න අලුතෙන් සූට් මහනවා කියලා. එක් කුණු ලොන්ඩරියක් වෙච්ච තේරීම් කාරක සභාවත් අනිත් කුණු ලොන්ඩරිය වෙච්ච පොලිසිය හරහාත් අවශ්‍ය ප්‍රමාණයට කුණු හෝදගෙන කියලා තමයි එතුමන්ලා හිතාගෙන ඉන්නේ. නමුත් මේ චෝදනා විමර්ශනය කරලා අවසන් වෙන්නට කලින් රිෂාඩ් බදියුඩීන් මන්ත්‍රිවරයා නැවත අමාත්‍යවරයෙක් වුනොත් එය ඍජුවම විමර්ශනවලට බාධාවක් බව අපට පැහැදිලියි. අපේ බය නැති කරන්නට ඉන්න රටේ යුද හමුදාපතිතුමා රිෂාඩ් බදියුඩීන් මන්ත්‍රිතුමාට බය වෙලා තියෙන බවයි පෙනෙන්නේ. තේරීම් කාරක සභාව ඉදිරියට ගිහිල්ලා, ඊට කලින් තමන්ට බලපෑම් කළා යැයි කියපු රිෂාඩ් බදියුඩීන් මන්ත්‍රිවරයා බලපෑම් කළේ නැහැ නමක් ගැන ඇහුවා විතරයි කියලා එතුමා කියන්නේ ඒකයි. රිෂාඩ් බදියුඩීන් මන්ත්‍රිවරයාට රටේ හමුදාපතිවරයාත් මෙතරම් බය නම් අහිංසක පොලිස් නිලධාරීන් ගැන කවර කතාද? ඒ නිසා මේ පරීක්ෂණ ස්වාධීනව අපක්ෂපාතීව සිදුවීම සඳහා රිෂාඩ් බදියුඩීන් මන්ත්‍රිවරයා ඇතුළු ඔහුගේ පක්ෂයේ සියලුම මන්ත්‍රිවරුන් අමාත්‍ය ධුර භාර නොගත යුතුයි කියන මතයේයි අප සිටින්නේ.

මේ බිය ඉතාම සාධාරණයි. ඊයේ දින අප දැක්කා පුවතක් අටලුගම ප්‍රදේශයේ මුස්ලිම් කාන්තාවක් සිංහල කෙනෙකු කසාද බැඳලා එම විවාහ කරගත් පුද්ගලයා ඉස්ලාම් ආගමට එක්කර ගැනීමට මෙම කාන්තාව අසමත් වූවාය කියලා එම කාන්තාවට පහර දීලා. ඒ විතරක් නොවෙයි ඇඳුම් ඉරා දාලා, පාර දිගේ ඇදගෙන ගිහින් තියෙනවා පොලිසිය බලා සිටියදී. මිනිසුන් සිය ගණනක් මෙම කාරණයට සම්බන්ධ වී තියෙනවා. මේක සිදුවුණේ බණ්ඩාරගම අටලුගමයි. බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ මුස්ලිම් කාන්තාවක් හා විවාහ වෙන්න සිංහල කෙනෙකුට බැරි නම් කාන්තන්කුඩි ප්‍රදේශයේ තත්වය කෙසේ ද කියලා අපට හිතාගන්න පුළුවන්.

අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහවන වගන්තියෙ ඕනෑම පුද්ගලයෙකුට කැමති ආගමක් ඇදහීමට හා කැමති ආගමක් වැලඳගැනීමට නිදහස ලබා දී තිබෙනවා. එම නිදහස මෙලෙස බරපතළ විදියට උල්ලංඝණය වෙනවා නම් එය බරපතළ ප්‍රශ්නයක්. ඒ ආගමත් ප්‍රශ්නයක්. අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන ආකාරයේ ආගම් මෙරට පවතින්නට බැහැ. එක් එක් ආගම් වලට අනුව රටේ ව්‍යවස්ථාව වෙනස් කරන්නට අපට බැහැ. රටේ ව්‍යවස්ථාව අනුව ඒ ආගම් හැඩගස්වා ගැනීමයි සිදුකළ යුත්තේ. එවැනි විශ්වාසයන් තිබෙන පිරිස් කොපමණක් මේ රටේ ඉන්නවද කියා අප දන්නෙ නැහැ. කුමන ආගමක් ඇදහුවත් රටේ මූලික නීතිය ද එම පිරිස් ගරු කළ යුතුයි.

මේ නිසා තමයි වහාබ් අන්තවාදයට එරෙහිව මෙරට ජනතාව පෙළ ගැස්සවීමේ අවශ්‍යතාවයක් තිබෙන්නේ. ඉතින් අපට දැන් ලැබෙන තොරතුරු අනුව නම් වහාබ් අන්තවාදීන්ගේ වැඩිම පීඩනයකට ලක්ව තිබේන්නේ මුස්ලිම් ජනතාව. විශේෂයෙන්ම මුස්ලිම් කාන්තාවන්. ඒ නිසා වහාබ් අන්තවාදයට එරෙහිව අප සිදුකරගෙන යන ජනතා ව්‍යාපාරයට අපත් සමග එකතු වෙන්න කියලා මේ වහාබ් අන්තවාදයෙන් පීඩාවට පත්ව සිටින මුස්ලිම් ජනතාවට අප විශේෂ ආයාචනාවක් කරනවා.

ප්‍රශ්නය හා පිළිතුරු

ප්‍රශ්නය

මේ වන විට පොලිස්පතිතුමන් සහ හිටපු ආරක්ෂක ලේකම්තුමන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔබතුමන් මෙය දකින්නේ කොහොමද ?

පිළිතුර

වත්මන් නීතිපත‍ෙතුමන් කොන්ද කෙලින් තියාගෙන දේශපාලන බලපෑම්වලට යට නොවී රටේ නීතිය ක්‍රියාත්මක කරන නීතිපතිවරයෙකු කියලා යළිත් වතාවක් ඔප්පු කරලා තිබෙනවා. නමුත් පොලිස්පතිවරයාගෙන් සහ හිටපු ආරක්ෂක ලේකම්වරයාගෙන් මෙම ක්‍රියාවලිය අවසන් නැහැ. මේ සිද්ධිය දැන දැනත් සිතාමතා මේ අපරාධය සිදු වෙන්න ඉඩ හළ සියලුම දෙනා මේ මහා මිනිස් ඝාතනයට වගකිව යුතුයි. තොරතුරු දැනගෙන එය නොසලකා හැරිය යම් දේශපාලකයෙක් සිටිනවා නම් නිලධාරියෙක් සිටිනවා නම් සහරාන් තරමටම ඔවුන් සියල්ලත් මේ මිනීමැරුමේ වරදට දඬුවම් ලැබිය යුතුයි. ඔවුන්ටද නීතිය ක්‍රියාත්මක කරන තුරු අප අවදියෙන්.

ප්‍රශ්නය

ඔවුන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එන්න කිව්වහම රෝහලට යනවා ඇයි එහෙම වෙන්නේ

පිළිතුර

මේකට කියන්නේ රිමාන්ඩ් ෆෝබියා කියලා. උසාවියෙන් වරෙන්තුවක් නිකුත් වෙනකොටම පොලිසියෙන් එන්න කියනකොටම බොහෝ දෙනෙක් ගිහිල්ලා රෝහල් වලට ඇතුලත් වෙනවා. රටේ පොලිස්පතිත් එහෙම නම් අන් අය ගැන කවර කතාද. යකඩ මල්ලට ගුල්ලො ගහලා නම් වී මල්ල නොබලාම sikaram කියලා රටේ කතාවක් තියෙන්නේ ඒකයි.

ප්‍රශ්නය

ලංකා ඉතිහාසයේ පළමු වතාවටයි පොලිස්පති වරයෙක් මෙසේය අත්අඩංගුවට පත් වන්නේ. ඒ ගැන මොකද කියන්නේ ?

පිළිතුර

මේ වගේ පිස්සු කෝලමක් මීට පෙර පොලිස්පති වෙලා නැහැ. මේ පොලිස්පතිවරයාට ඔය තනතුර භාර දුන් ව්‍යවස්ථාදායක සභාව තමන්ගේ හැකියාවන් සම්බන්ධයෙන් හැරී බලන්නට ඕනෑ. මෙවැනි පොලිස්පතිවරයෙකු පත්කර ගැනීම සම්බන්ධයෙන් ව්‍යවස්ථාදායක සභාව ලැජ්ජා විය යුතුයි. ඒ වගේම කරු ජයසූරිය මහතා ඇතුළු ව්‍යවස්ථාදායක සභාව ද මේ වන විට ඉල්ලා අස්විය යුතුයි.

ප්‍රශ්නය

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් සමාගම සමග අත්සන් කරන ගිවිසුම් සම්බන්ධයෙන් බොරු බිල්ලෙක් මවන බවට හර්ෂ ද සිල්වා අමාත්‍යවරයා චෝදනා කරනවා. ඒ ගැන ඔබතුමා මොකද කියන්නේ.

පිළිතුර

අප කියන්නේ බොරු නම් ඇත්ත කුමක්දැයි ඒ අය රටට හෙළි කරා නම් ඉවරයි. අපේ ආණ්ඩුව කාලේ අප පිටු අටක ඇක්සා ගිවිසුමක් අත්සන් කළා. අපි එය ප්‍රසිද්ධ කළා වගේම අදටත් එය ඕනෑම කෙනෙකුට ලබා ගන්නට පුළුවන්. මොකද එය පාර්ලිමේන්තුවේ තියෙනවා. නමුත් මේ ආණ්ඩුව අත්සන් කළ පිටු 83ක ඇක්සා ගිවිසුම අද වන තුරුත් දැක්ක කෙනෙක් නැහැ. රටේ ජනාධිපතිතුමන් වන මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වත් එම ගිවිසුමේ අන්තර්ගතය කුමක් දැයි දන්නේ නැහැ. මේ ගිවිසුම් වල රටේ ජනතාවගෙන් හංගන්නට දෙයක් නැත්නම් ඇයි මේ ගිවිසුම් ප්‍රසිද්ධ කරන්නේ නැත්තේ. මේ ගිවිසුම් සියල්ල එළියට දාන්න රටේ ජනතාවට බලන්න. අපි කියන්නේ බොරු නම් ඇත්ත මොකක්ද කියලා දැනගන්න එවිට ජනතාවට අවස්ථාවක් තියෙනවා. ලේඛනය එළියට ආ දවසට බොරු කියන්නෙ අපද මා මිත්‍ර ආචාර්ය හර්ෂ ද සිල්වා මැතිතුමා ද කියන එක කාටත් බලාගන්නට පුළුවන්.

– අරවින්ද අතුකෝරල

170 views
Main News