බස් රථයේ ඝාතනයෙන් දකුණේ පාතාල අපරාධ වැලක් හෙලිවේ..

September 9, 2019 at 5:30 pm | lanka C news
බස් රථයේ ඝාතනයෙන් දකුණේ පාතාල අපරාධ වැලක් හෙලිවේ..

ඇල්පිටිය, අටකොහොට ප්‍රදේශයේ බස්රථයක් තුලදී 06 පෙරවරුවේ මිලිමීටර් 09 වර්ගයේ ගිනිඅවියකින් හිසට වෙඩිතබා ඝාතනය කරන ලද ඌරගහ, කුඩා ඌරගහ පදිංචි මාවනානහේවා රංජිත් ජයවර්ධන (41) නැමැති අයගේ ඝාතනය දකුණේ පාතාලයේ තවත් මරා ගැනිල්ලක් බවට පොලීසිය විසින් මේ වන විට තොරතුරු අනාවරණය කරගෙන තිබේ. ඝාතනයට ලක් වූ අය තිදරු පියෙකු බවද ඇල්පිටිය පොලීසිය කියයි.

ඝාතනයට ලක් වූ අයගේ මහේස්ත්‍රාත් පරීක්ෂණය 06 පෙරවරුවේම ඇල්පිටිය මහේස්ත්‍රාත් ගයාන් මීගහගේ මහතා විසින් පවත්වන ලද අතර පශ්චාත් මරණ පරීක්ෂණය ඇල්පිටිය මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී කේ ආර් මුණසිංහ මහතා විසින් ඇල්පිටිය මූලික රෝහලේදී පවත්වන ලදී. වෛද්‍ය වාර්තාව හා හෙලි වූ තොරතුරු අනුව මෙම මරණය හිසට වෙඩි වැදීමෙන් ඇති වූ බරපතල තුවාල හා අධික රුධිර වහනය හේතුවෙන් සිදුව තිබෙන බවත් මෙය ඝාතනයක් බවත් මහේස්ත්‍රාත්වරයා විසින් තීරණය කර තිබේ.

සැකකරුවන් වහාම අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා විසින් ඇල්පිටිය පොලීසියට නියෝග කර තිබෙන අතර විධිමත් මහේස්ත්‍රාත් පරීක්ෂණය ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයේදී පසුව පවත්වන බවද මහේස්ත්‍රාත්වරයා විසින් දැනුම් දී ඇත.

ඝාතනයට ලක් වූ අයගේ හිසට වෙඩි තැබීම සිදු කර තිබෙන බව පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. සිද්ධිය වූ බස්රථය තුල තිබී හිස්පතුරම් කොපු 05 ක් පොලීසිය විසින් සොයාගෙන තිබෙන අතර එම හිස් පතුරම් කොපු මිලි මීටර් 09 වර්ගයේ ගිනි අවිවලට යොදන ඒවා බවද පොලීසිය විසින් තහවුරු කරගෙන තිබේ. ඒ නිසාම ඝාතනට ලක් වූ අයගේ හිසට වෙඩි පහරවල් 05 ක් තබා තිබෙන බවත් එම වෙඩි පහරවල් මිලිමීටර් 09 වර්ගයේ ගිනි අවියකින් තබා තිබෙන බවත් ඇල්පිටිය පොලීසිය කියයි.

ඌරගස්මන්හන්දිය සිට ඇල්පිටිය දක්වා ගමන්ගත් ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් තුලදී මෙම වෙඩිතැබීම සිදුව තිබේ. ඝාතනයට ලක් වූ අය එදින පෙරවරුවේ සිය පෞද්ගලික අවශ්‍යතාවයක් සදහා ඇල්පිටිය ඩිපෝවට අයත් අංක WP NA – 1275 දරණ බස් රථයෙන් ඌරගස්මන්හන්දියේ සිට ඇල්පිටිය දක්වා ගමන් ගනිමින් සිටියදි වෙඩි ප්‍රහාරයට ලක් ව තිබේ.

2018 සැප්තැම්බර් 30 වන ඉරිදා රාත්‍රී 7.30 ත් 8.00 අතර ඌරගස්මන්හන්දිය, රන්තොටුවිල ප්‍රදේශයේදී වෙඩිතබා, කපා කොටා ඝාතනය කරන ලද ඌරගස්මන්හන්දිය, ඉහළ මාලවල, රන්තොටුවිල පදිංචිව සිටි කුමාරගේ චමිල දීපාල් රණසිංහ (37) සහ එම ලිපිනයේම පදිංචි තුෂයාහේවගේ සමන් සුරේෂ් (30) යන දෙදෙනාගේ ඝාතනයන්ට පලිගැනීමක් ලෙස මෙම ඝාතනය කර තිබෙන බව පොලීය විශ්වාස කරයි. මෙම ඝාතනයන් වසර ගණනාවක් පුරා දෙපාර්ශවයක් අතර තිබෙන කෝන්තරයක් නිසා සිදුව තිබෙන බවත් මෙම ඝාතනයත් සමග දෙපාර්ශවය අතර ඝාතන 06 ක් සිදුව බවත් ඇල්පිටිය පොලීසිය කියයි.

රන්තොටුවිල පදිංචිව සිටි කුමාරගේ චමිල දීපාල් රණසිංහ (37) සහ එම ලිපිනයේම පදිංචි තුෂයාහේවගේ සමන් සුරේෂ් (30) යන දෙදෙනාගේ ඝාතනයන්ට අදාලව  ඌරගස්මන්හන්දිය පොලීසිය මගින් අත් අඩංගුවට ගන්නා ලද්දේ ලද්දේ කුඩා ඌරගහ, ඌරගහ ලිපිනයේ පදිංචි චාමින්ද වීරසිංහ (48) සහ මැන්ඩෝරාවල, ඌරගහ ලිපිනයේ සිසිර සේනාරත්ත (45), කුඩා ඌරගහ, ඌරගහ ලිපිනයේ පදිංචි තොම්මයාහකුරු අසංක චමිල කුමාර (32) යන තිදෙනාය. පෙරේදා (06) දින මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ ඉහත සිද්ධියේ පළමු සැකකරු වන කුඩා ඌරගහ, ඌරගහ ලිපිනයේ පදිංචි චාමින්ද වීරසිංහ (48) නැමැති අයගේ බාල සහෝදරිය වන නයනා ඩෙන්සි වීරසිංහ (37) නැමැති අයගේ ස්වාමිපුරුෂයාය.

2018 සැප්තැම්බර් 30 දා ඝාතනයට ලක්වන කුමාරගේ චමිල දීපාල් රණසිංහ (37)  නැමැති අයගේ මවගේ තාත්තා (සීයා) සහ 6 කණුව, හිපන්කන්ද, නවදගල පදිංචි ප්‍රදීප් කුමාර ජයවර්ධන (30) නොහොත් මයිකල් නැමැති අයගේ මවගේ තාත්තා (සීයා) සහෝදරයින්ය. ඒ අනුව චමිල, ප්‍රදීප්ගේ පුංචි අම්මාගේ පුතාය. මයිකල් නැමැති අය විසින් පෙරේදා (06) දින මෙම ඝාතනය කර තිබෙන බවට ඇල්පිටිය පොලීසිය මේ වන තොරතුරු අනාවරණය කරගෙන තිබෙන බව ඇල්පිටිය පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

මයිකල්, කොස්ගොඩ සුජීගේ විශ්වාසවන්තම ගෝලයාය. 2011 ජනවාරි 04 දින අම්බලන්ගොඩ, අරලිය හෝටලය ඉදිරිපිටදී කෝටිපති ව්‍යාපාරික අංක 10 බී, මානිමුල්ල, අම්බලන්ගොඩ ලිපිනයේ පදිංචිව සිටි මාදුවගේ යසරත්න (53) නැමැති අය ඝාතනය කරන්නේද මයිකල්ය. එම ඝාතනය සම්බන්ධයෙන් ජගමුණි සුජීව ද සොයිසා (27) නොහොත් කොස්ගොඩ සුජී, ප්‍රදීප් කුමාර ජයවර්ධන නොහොත් මයිකල්, කැපුඇල පාර, අම්බලන්ගොඩ ලිපිනයේ පදිංචි කුවින්දාහන්දි නිලන්ත නොහොත් බොස්සා පොලිස් අත් අඩංගුවට පත් වේ. එයට අමතරව 2016.04.11 දින ඌරගස්මන්හන්දිය, මීගස්පිටියේ සංදීප නිවසේ පදිංචිව සිටි තිස්ස නැමැති අය වෙඩිතබා ඝාතනය කිරීම, අහුන්ගල්ල, රේල් ගේට්ටුව අසල තරුණයෙක් සහ ඌරගස්මන්හන්දිය, හිපන්කන්දේදී පුද්ගලයෙක් වෙඩි තබා ඝාතනය කිරීම යන චෝදනාද මයිකල්ට එල්ල වී තිබේ.

– ජයකාන්ත ලියනගේ

28,798 Viewers

Leave a Comment

Main News