ගිනි අවි දෙකක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට..

September 24, 2019 at 2:09 am | lanka C news
ගිනි අවි දෙකක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට..

හික්කඩුව, පින්කන්ද ප්‍රදේශයේදී බෝර 12 උණ්ඩ යෙදිය හැකි පරිදි මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවි දෙකක් (02) හා බෝර 12 උණ්ඩ හතරක් (04) සමඟ සැකකරුවන් දෙදෙනෙකු හික්කඩුව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත් අඩංගුවට ගන්නා ලද සැකකරුවන් දෙදෙනා ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හික්කඩුව, තිරාණගම ප්‍රදේශයේ පදිංචි ජයනෙත්ති කෝරාලලාගේ දමිත් රුක්ෂාන් (23) හා කාරියවසම් පටබැදිගේ මිනුර කවීන් විජේරත්න (19) නැමැති දෙදෙනාය.

රත්ගම විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත විශේෂ කාර්යය බලකාය හා හික්කඩුව පොලිසිය එක්ව හික්කඩුව, පින්කන්ද ප්‍රදේශයේ දී වැටලීම සිදු කර සැකකරුවන් අත් අඩංගුවට ගෙන තිබේ.

පසුගිය මැයි 02 දින බෝර – 12 තුවක්කුවකින් වෙඩි වැදී බරපතල තත්ත්වයෙන් සිටියදී හික්කඩුව පොලිසිය මගින් අත් අඩංගුවට ගන්නා ලද හික්කඩුව, පටුවත පදිංචි උදේශ් ඉන්දික ප්‍රසන්න (30) සහ ඔහුගේ මිතුරෙකු වන බද්දේගම පදිංචි සමන් දුෂ්මන්ත (35) නැමැති දෙදෙනා සමගද මොවුන් දෙදෙනා සම්බන්ධකම් පවත්වා තිබෙන බව හික්කඩුව පොලීසිය කියයි.

හික්කඩුවේදී 2018 වසරේ භික්ෂූන් වහන්සේ නමකට පහර දීමේ සිද්ධියකටද මෙහි පළමු සැකකරු සම්බන්ධ බවත් මොවුන්ට විරුද්ධව හෙරොයින් නඩු කිහිපයක්ම ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් තිබෙන බවත් හික්කඩුව පොලීසිය පරීක්ෂණ වලදී තහවුරු කරගෙන තිබේ. එයට අමතරව හික්කඩුවේ සිදු වූ තවත් අපරාධ රැසකටම මොවුන් දෙදෙනා සම්බන්ධ බවට තොරතුරු ලැබී තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් තව දුරටත් විමර්ශණ සිදුකරන බවත් හික්කඩුව පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

– ජයකාන්ත ලියනගේ

850 Viewers
Main News