ගෝටා ජනපති වූ පසු මහින්ද අගමැති..

October 7, 2019 at 8:02 am | lanka C news
ගෝටා ජනපති වූ පසු මහින්ද අගමැති..

විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ සහ ගෝඨාභය රාජපක්‍ෂ යන මහත්වරුන් ඉදිරියේ දී රට බාර ගැනීමත් සමඟ විනාශ වී ගිය රට යළි ගොඩ ගැනීමේ සැලැස්ම ක්‍රියාත්මක වීම ආරම්භ වනු ඇති බවත් ,එහිදී හානියට පත්ව තිබෙන ජාතික ආරක්‍ෂාව ,ආර්ථිකය ,විනය හා ,සදාචාරය යන අංශ වලට මුල් තැන ලැබෙනු ඇති බවත් විපක්‍ෂ නායක පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා පැවසීය .

නොගැලපෙන නායකයන් දෙදෙනෙකු එක්ව අටවා ගත් ” යහ පාලන ආණ්ඩුව “නිසා රට බොහෝ කලකට ආපස්සට ඇද දමා ඇති බව කී ඒ මහතා මෙවැනි ආණ්ඩු යළි මේ රටේ බිහි වීමට ඉඩ නොතැබිය යුතු යැයි ද සඳහන් කළේය .

හෙට්ටිගේ මහතා මේ බව කීවේ වැලිගම – දෙනිපිටිය ,සුල්තානාගොඩ ප්‍රදේශ වාසීන්ගේ ආරාධනයෙන් පැවැති ජනහමු කීපයකට සහභාගී වෙමිනි .

එහිදී ඒ මහතා මෙසේද කීය .

” අද අපට ජීවත් වීමට සිදු වී තිබෙන්නේ අරාජිකත්වය රජ කරන කාලයක.මෙතැනින් ගොඩ එන්න නම් විශ්වසනීය නායකත්වයකට රට බාර දෙන්න ඕනෑ .ඉදිරි ජනාධිපතිවරණයෙන් එහි පළමු පියවර ගැනෙනවා .ඒ තමයි ජනාධිපති ධූරයට ගෝඨාභය මහතා පත් වීම .ඉන් පසුව මහින්ද මහත්තය අගමැති වන ආණ්ඩුවක් නිර්මාණය කර ගැනීම සිදු වෙනවා . එතැන් සිට පොදු ජනයාගේ සිහින සැබෑ කෙරෙන මාවත විවර වේවි .ජනතාවගෙ හඬ වුනේ එයයි .මේ ගමන පහසු නෑ .රට හැදීම මුල සිටම කරන්න සිදු වෙනවා .යහ පාලකයන් කළේ කිසිවෙකුට යළි ගොඩ ගන්න අපහසු තැනට රට තල්ලු කර දැමීමයි .මේ නිසා ඉදිරි කාලය ජනතා ආශීර්වාදය මත යා යුතු වෙනවා .ජනයාගේ සිතුම් පැතුම් මත දේශපාලනය කරන්න සිදු වෙනවා .දේශාභිමානී හැඟීම් සිත් තුළ ජනිත කරගෙන අප සියලු දෙනා ඉදිරි කාලයේ වැඩ කරන්න සුදානම් වෙන්න ඕනෑ .

යහපාලකයන් බලය ගැනීමත් සමඟ මුලින් ම වුනේ ඔවුන් අහංකාර වීමයි .ජනතා සිතුම් පැතුම් නොව හොර දෙටු කණ්ඩායමක වුවමනා මත වැඩ කරන්න පටන් ගත්තා .හොරකම ,වංචාව ,කයිවාරුව රජ වුණා .ඒ සමඟම රට වැටුණා .යහපාලනය ගැන ජනතාවගේ අප්‍රසාදය හා කෝපය මතු වෙන්න පටන් ගත්තේ එතැනින් .පොදු ජනයාට නැවත රාජපක්‍ෂවරුන් සිහිපත් වුණා .රට ඔවුන්ට බාර දෙන්න ජනයා දැන් පෙළ ගැසෙනවා .මහින්ද මහත්තයට ගෝඨාභය මහත්තයට තිබෙන ජනතා කැමැත්ත යට කරන්න යහපාලකයන් කුමන්ත්‍රණ කළා .මේ වන විට ඒවා පරාජය කරන්න අපට හැකි වී තිබෙනවා .

ඉදිරි දේශපාලනය සංකීර්ණයි .සමාජය බොහෝ දේ ගැන වෙනස් ව හිතන්න පටන් අරන් .නායකයන්ගෙන් ආදර්ශමත් ක්‍රියා පිළිවෙතක් සමාජය බලාපොරොත්තු වෙනවා .එසේ නොවුනොත් රටට වගේම අප හැම දෙනාටම හානිකර තත්වයක් ඇති වේවි .දේශපාලනය කරන බොහෝ දෙනෙක් විනාශය අත් කරගන්නේ දුර දිග නොබලා වැඩ කිරීම නිසයි .නායකයන් පරමාදර්ශි වනවා සේම ඔවුන්ගේ අනුගාමිකයන් ද ආදර්ශමත් විය යුතුයි .රාජ්‍ය යාන්ත්‍රණය තුළ සිටිය යුත්තේ උදාර ගුණ ධර්ම සහිත මිනිසුන් .වෙනත් කුමන සුදුසුකම් තිබුනත් අන් අයගේ දුක වේදනාව හඳුනාගැනීමට නොහැකි නම් එවැනි කිසිවෙකු ජනතා සේවයට ,රාජ්‍ය සේවයට සුදුසු වන්නේ නෑ .අනාගතයේ කාගෙත් සිත් ගන්නා රජයක් බිහි වෙන පෙර ලකුණු මතු වෙමින් තිබීම සතුටක් .එය අරක්ෂා වන ලෙස අපගේ ක්‍රියා කාරිත්වය සිදු විය යුතුයි .

මේ රට යළි ධර්මද්වීපයක් කර ගන්න ඕනෑ .ඒ තුළ සියලු ජන කොටස් සතුටින් ජීවත් වනු දැකීම තමයි රටක් හැටියට අප ලබන ජයග්‍රහණය .” යැයි ද හෙට්ටිගේ මහතා කියා සිටියේය

– Khmedia

216 views