දඬුවම් ලැබෙන්න ඕන කෙනෙක් හංසයා ලකුණින් ඡන්දය ඉල්ලනවා..

October 30, 2019 at 5:30 pm | lanka C news
දඬුවම් ලැබෙන්න ඕන කෙනෙක් හංසයා ලකුණින් ඡන්දය ඉල්ලනවා..

පසු ගිය 2005 දී ජනාධිපති ධුරයට පත් වූ මහින්ද රාජපක්‍ෂ මහතා ත්‍රස්තවාදය අවසන් කර රටේ වේගවත් සංවර්ධනයක් හා සාමකාමී පරිසරයක් ඇති කළේ ,දේශපාලන ප්‍රතිවාදීන්ගෙන් පළි ගැනීම් නොකර ” පළමුව රට ” යන උදාර පරමාර්ථයෙන් ක්‍රියා කළ නිසා බවත් ” යහපාලන ආණ්ඩුව ” බලය ගෙන සිදු කළේ රටේ දියුණුවට වැඩ කළ රාජපක්‍ෂලා හා රණවිරුවන් ඇතුලු කීර්තිමත් රාජ්‍ය නිලධාරීන්ගෙන් පළි ගැනීම පමණක් බවත් විපක්‍ෂ නායක පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා පැවැසීය.

එම දුෂ්ට අරමුණ ඇතිව ” යහපාලන ආණ්ඩුව ” වසර හතරකට වැඩි කාලයක් රට පාලනය කිරීම නිසා අපට ඉතිරි වී ඇත්තේ හැම පැත්තකින් ම විනාශ වී ගිය රටක් බව කී ඒ මහතා ,එය ගොඩ ගැනීමට ඇති එකම මග පාදා ගත හැක්කේ ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති ධුරයට පත් කර ,මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති වන ආණ්ඩුවකින් යැයි ද සඳහන් කළේය .

ඔහු මේ බව සඳහන් කළේ ,පල්ලේගම – මෙදේරිපිටිය ,කොළවෙනිගම – ගංගොඩ ,ඕලකන්ද ,හක්මන – කිරිලිපන ,පට්ටිගල – දල්ලන්ද වත්ත ,හා කොටපොළ – හිඟුරුපනාගල ,ලිඳ ගාව හේන ,ප්‍රදේශවාසීන්ගේ ආරාධනයෙන් ” ඉදිරි ජනාධිපතිවරණය හා රටේ අනාගතය ” මැයෙන් පැවැති සුහද හමු 8 කට සහභාගී වෙමිනි .

එහිදී හෙට්ටිගේ මහතා මෙසේද කීය .

” ආණ්ඩුවක් රටේ සුබ සෙත වෙනුවෙන් වැඩ කරන්න ඕනෑ .යහපාලන ආණ්ඩුව කළේ රට අමතක කර ඔවුන්ගේ බලය සඳහා වැඩ කිරීම පමණයි .රටට වැඩ කළ අයගෙන් පළි ගැනීම ඔවුන්ගේ එකම අරමුණ වුණා .

ආණ්ඩු කරන විදි දෙකක් තිබෙනවා .අනාගත දැක්මක් ඇතිව ,රටට ජාතියට ආදරයෙන් ආණ්ඩු කිරීම එකක් .අනිත් ක්‍රමය කිසිදු දැක්මක් නැතිව රට ජාතිය ගැන නොසිතා රට අවුල් කරමින් ආණ්ඩු කිරීම .යහපාලකයන් අනුගමනය කළේ දෙවැනි ක්‍රමයයි .ඒ නිසා රට අනාරක්ෂිතව අගාධයට ගියා .හෙටක් ගැන නොසිතා ජීවත් වීමට තරම් ජනයා දැන් අසරණ වෙලා .

සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය ම අක්‍රීයයි .ජනයාගේ ප්‍රශ්න අහන්න කිසිවෙක් නෑ .දුක් බරව සිටින ජනතාව ඉන් ඉක්මනින් මුදා ගන්න ශක්තිමත් ආණ්ඩුවක් ඕනෑ .මහින්ද – ගෝඨා සුසංයෝගයෙන් යුත් ආණ්ඩුවක් පොදු ජනතාව ඉල්ලන්නේ ඒ නිසා .රටක් තිබුන තැනින් පහළට ඇද දැමූ නායකයන් අපරාධ කරුවන් ලෙස සැළකිය යුතුයි .ආර්ථික සංවර්ධනය 7.3 % ක් සහිතව මහින්ද රාජපක්‍ෂ මහත්තය අපේ රට එදා යහපාලනයට බාර දුන්නෙ .අද එය 1.2 % යි .අනිත් හැම පැත්තක් ම කඩා වැටිලා .හිතා මතා ම මහ බැංකුව කොල්ල කැවා .මේ අපරාධ කළේ කවුද කියා විභාග වෙන්න ඕනෑ .ඒ වගේම ඔවුන්ට සුදුසු දඬුවම් ලැබෙන්නත් ඕනෑ .එහෙම දඬුවම් ලැබෙන්න ඕන කෙනෙක් හංසයා ලකුණින් ඡන්දය ඉල්ලනවා .සදාචාරය ගැන හිතන්නේ නම් එවැනි කෙනෙක් ජන වරමක් ඉල්ලන්නෙ නෑ .ජනතාව වෙනුවෙන් පෙනී සිටින අය ආදර්ශමත් වෙන්න ඕනෑ .මානව හිතවාදය හද තුළින් ම මතු විය යුතුයි .රටේ මුදුනේ සිට දම් වැලක් සේ පහළට ආදර්ශමත් ජනතා නියෝජිතයන් එක් වූ දවසට මේ රට ලස්සන වෙනවා .ඒ සඳහා යන ගමනේදී දේශපාලන නායකයන්ට මෙන් ම පුරවැසියන්ට ද ඇත්තේ අත් හළ නොහැකි වගකීමක් .ආත්මාර්ථකාමී හැඟීමෙන් දිගු ගමනක් යන්න බෑ .නායකයන්ගේ සෑම ක්‍රියාවක් ම පෙරට වඩා අද වේගයෙන් පොදු ජනයාගේ නෙත ගැටෙනවා .නායකයන් පුරවැසියන් සමඟ විශ්වාසයේ බැම්ම ශක්තිමත් කර ගත යුතුයි .ඒ සඳහා බහුතර ජනයාගේ සිතුම් පැතුම් වලට අනුගත වෙන්න ඕනෑ .යහ පාලකයන් මේ කිසිවක් ගැන සංවේදී වුනේ නෑ .එහි විපාකය ඔවුන්ට ළඟ දීම අත් විඳින්න වෙනවා .

රටට ආදරය කරන නායකයන් හඳුනා ගැනීමත් ඔවුන් ආරක්ෂා කර ගැනීමත් පුර වැසියන්ගේ යුතුකමක් හා වගකීමක් යැයි ද හෙට්ටිගේ මහතා සඳහන් කළේය .

– Khmedia

57 views
Main News