පැවති ආණ්ඩුවට වඩා දැන් සහල් මිල අඩුයි.. ඒ ජනාධිපතිතුමා තොග ගබඩා වලට කඩා පැන්න නිසා..

February 18, 2020 at 8:40 am | lanka C news
පැවති ආණ්ඩුවට වඩා දැන් සහල් මිල අඩුයි.. ඒ ජනාධිපතිතුමා තොග ගබඩා වලට කඩා පැන්න නිසා..

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කලේය.

හාල් මිළ ඉහළ ගිය බව තිත්ත ඇත්තක්. අස්වැන්න අඩු නම් නිසි කළට පිටරටින් ගේන්න තිබුණානෙ කියා අපට එජාපය පිට වරද පටවා බැන බැන ඉන්න තිබුණා. නමුත් අපි එහෙම කරන්නේ නැතුව හාල් මිල අඩු කරන්න කටයුතු කළා. ජනාධිපතිතුමා සෘජුව මැදිහත්වෙලා සහල්මිල අඩුකිරීමට පියවර ගත්තා. ජනාධිපතිතුමා රහසේ වෙළඳපොලට තොග ගබඩා වලට කඩා පනින්න පවා කටයුතු කළා. ඒ නිසා හාල් මිළ දැන් ක්‍රමයෙන් අඩු වෙමින් තිබෙනවා. ඒක කියන්නේ මම නොවේ.

හෙක්ටර් කොබ්බෑකඩුව කෘෂි පර්යේෂණ ආයතනය. පෙබරවාරි 14දා සම්බා දෙවන වර්ගයේ සාමාන්‍ය තොග මිළ කිලෝවක් රු 93යි. ඒකම ජනවාරි 14දා මිළ රු95යි. ඒකම දෙසැම්බර් 14දා මිළ රු 99යි. එහෙම නම් හාල් මිළ මාස දෙකක් පුරා අඛණ්ඩව අඩු වෙන බව පේනවා. හැබැයි මේ ගණනට වෙළඳපොලේ ගන්න නෑ. මොකද මේ තොග මිළ මිස සිල්ලර මිළ නොවේ. නමුත් සිල්ලර මිළද මීට සමානුපාතිකව අඩුවෙලා තියෙන්නට ඕනේ. ඒ විතරක් නොවේ නොවැම්බර් 14 දා සම්බා දෙවන වර්ගයේ සාමාන්‍ය තොග මිළ කිලෝවක් රු 94යි. එහෙම නම් එජාප ආණ්ඩුව තිබුණු යුගයටත් වඩා දැන් හාල් මිළ අඩු වෙලා බව පේනවා.

නමුත් තව දුරටත් හාල් මිළ පහත දැමීමට ආණ්ඩුව කටයුතු කළ යුතුයි. අස්වැනු කාලයට වී මිළ දී ගෙන තොග පවත්වා ගෙන ගොස් සහල්මිල වැඩිවෙන අවස්ථාවන් හීදි ඒ තොග වෙළද පොළට නිදහස් කිරීමේ යාන්ත්‍රණයක් සැකසීමට පියවර ගනිමින් ඉන්නවා. එවිට ගොවියාට හෝ පාරිභෝගිකයාට අසාධාරණයක් නොවන සාධාරණ ස්ථාවර මිලකට සහල් මිල පවත්වාගෙන යාමේ හැකියාව ලැබෙනවා.

මාධ්‍ය සංර්දශන වලට එළවළු ගෙනැවිත් එජාප මන්ත්‍රිවරුන් අද කිඹුල් කඳුළු හෙලනවා. එජාප ආණ්ඩුව කාලයේ කිව්වේ එළවළු මිළ වැඩි නම් කොස් කොල ක්‍රෝටන් කොල කන්න කියලා. ජනතාව වස කන්න කියලා විතරයි කිව්වේ නැත්තේ. එළවළු මිළ වැඩි බව ඇත්ත. ඒක සිද්ධ වුණේ 2019 ජූනි මාසයේ සිට 2020 ජනවාරි මුල දක්වා එක දිගට මාස හතක් ධාරාණිපාත වැස්සක් රට පුරාම ඇද හැලුණු නිසා. මාස හතක් එක දිගට වැස්ස අවුරුද්දක් තමන්ට මතක නැති බව අවු 90ක තාත්තා කෙනෙක් මා සමග කිව්වා.

මේ වැස්ස නිසා එළවළු වගාව සම්පූර්ණයෙන් විනාශ වුණා. ඒකයි එළවළු මිළ ඉහළ ගියේ. අපේ ආණ්ඩුවට තවම මාස තුනක් නෑ. පිටරටින් එළවළු ගෙන එන්න මාස තුනකට වඩා යනවා. ඒ විදේශීය එළවළු සමග ආක්‍රමණික ශාක බීජ වගේම පලිබෝධකයන් ලංකාවට එන්න පුළුවන් නිසා නිරෝධනය කළ යුතු නිසා තමයි ඒ කාලය ගත වෙන්නේ. වැස්ස නතර වුණාට පස්සේ වගා කළ එළවළු අප්‍රේල් වන විට වෙළඳපොලට එනවා. ඒ සමග එළවළු මිලේ ප්‍රශ්නය විසඳේවි

– අරවින්ද අතුකෝරල

9,163 Viewers

One Comment to “පැවති ආණ්ඩුවට වඩා දැන් සහල් මිල අඩුයි.. ඒ ජනාධිපතිතුමා තොග ගබඩා වලට කඩා පැන්න නිසා..”

  1. Open mind says:

    ඡන්දය ඉවර වෙනකම් කට පියාගන්න ප්ලීස්.බහුතර ජනතාව බත් කන හරක් නොවේ.

Main News