කොරෝනා පශ්චාත් ප‍්‍රහාරයක්.. ඇදිරි නීතියෙන් පසු ජනතාව ප‍්‍රචණ්ඩයි..

May 17, 2020 at 5:30 pm | lanka C news

රෝගීන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ ජාතික සංවිධානය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

කොරෝනා පශ්චාත් ප්‍රහාරයෙන් වැලකෙමු- මානසික සෞඛ්‍ය වැඩසටහන් ගමට ගෙන යමු

නව corona වසංගතය හේතුවෙන් රට පුරා ඇදිරි නීති තත්ත්වය සම්පූර්ණයෙන් ඉවත් කිරීමත් සමග ජනතාව තුළ කිසියම් ප්‍රචණ්ඩ හැසිරීම් තත්ත්වයේ ක්ෂණික ඉහළයාමක් දක්නට ලැබෙන බව සමාජ විද්‍යාඥයන්ගේ නිරීක්ෂණයන් බවට පත්ව ඇත‍‍. මිනීමැරුම් මෙන්ම ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ,සත්ව හිංසනය වාර්තා වීම් මේ අතර දැඩි ලෙස දක්නට ලැබේ .එමෙන් ම මත්පැන් සහ මත්ද්‍රව්‍ය වෙත ගිජුවීමෙ ස්වභාවයක්ද විද්‍යමාන ය .මෙම තත්ත්වය ලාංකීය අපට පමණක් සීමා වූ කරුණක් නොව සමස්ත ලෝකය පුරාම මෙම තත්ත්වය දක්නට ලැබේ .මිනිසාගේ මානසික සමබරතාවය මෙන්ම සමාජ සම්බන්ධතාවයන් දැඩි ලෙස ගිලිහීයාම මෙයට මූලික හේතු වන බව විද්වත් මතයයි .

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ ය

නව කොරෝනාව වසංගත තත්වය හේතුවෙන් විශාදය සහ මානසික රෝග වැඩි වශයෙන් ව්‍යාප්ත වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ද ප්‍රකාශ කොට තිබේ .එම වාර්තාවේ තවදුරටත් දැක්වෙන්නේ වසංගතය මැඩලීම සඳහා සමස්ත ක්‍රියාදාමය අතරට මානසික සෞඛ්‍ය සේවාවන් ද එක් කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය රජයන්ගෙන් ඉල්ලා සිටින බවකි .

මේ අතර corona virus වසංගතය ලෝක මට්ටමින් මහජන මානසික ආතතියට හේතු වී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ද ප්‍රකාශකර කොට ඇත .

නව corona වසංගතයට සාර්ථකව මුහුණ දුන් ශ්‍රී ලාංකිකයාට මින් පසුව මුහුණ දීමට සිදුව ඇත්තේ ජනතාවගේ මානසික සෞඛ්‍ය නැංවීම සඳහා වු දැවැන්ත වැඩපිළිවෙළක් සැකසීමේ අභියෝගය ටයි .

මානසික සමබරතාවය ගිලිහී ඇති ,ආතතිය සහ ඉච්ඡා භංගත්වයට පත්ව ඇතැයි සැලකෙන ජනතාව වෙත මානසික සෞඛ්‍ය රැකවරණය ලබා දීමට විශේෂ වැඩසටහනක් සෞඛ්‍ය අමාත්‍යාංශය මුල් වී ක්‍රියාත්මක කළ යුතු බව අප වගකීමෙන් යුතුව ප්‍රකාශ කර සිටිමු .ව්‍යාපාර බිඳ වැටී ඇති ,රැකී රක්ෂා අහිමි වෙතැයි බියෙන් සිටින ජනතාව වෙත මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සුවිශේෂී වනු ඇත .එසේ සිදු නොවුණ හොත් පශ්චාත් කොරෝනා ප්‍රහාරය අප මව්බිමට දරාගත නොහැකි වනු ඇත .( අනෙක් පිටුව)

ග්‍රාමීය මට්ටමට මානසික උපදේශනය ගෙන යමු

ග්‍රාමීය මට්ටමෙන් කොරෝනා වෛරසය මර්දනය සඳහා ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගේ ප්‍රධානත්වයෙන් ග්‍රාමීය සෞඛ්‍ය ආරක්ෂණ කමිටු පිහිට විය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මගින් යෝජනා කර ඇති වැඩ පිළිවෙල ඉතාමත් ප්‍රශස්ත එකක් බව අපගේ හැඟීමයි .එම ග්‍රාමීය සෞඛ්‍ය ආරක්ෂක කමිටු හරහා ම මානසික සෞඛ්‍යය හා මානසික උපදේශන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට වැඩ පිළිවෙලක් සකසන්නේ නම් වඩාත් ඵලදායි වනු ඇත ..

ඒ අනුව සෑම ග්‍රාම නිලධාරී කොට්ඨාසයකම ග්‍රාම නිලධාරී, මහජන සෞඛ්‍ය පරීක්ෂක, පවුල් සෞඛ්‍ය නිලධාරී, සංවර්ධන නිලධාරි සහ සමෘද්ධි නිලධාරී ඇතුලු කොට කමිටුව නිර්මාණය විය යුතු බව අපගේ අදහසයි.

ඒ අනුව පවුල් ඒකක මෙන්ම පුද්ගලානුබද්ධව ද කායික හා මානසික උපදේශන වැඩසටහන් ක්‍රියාත්මක කරමින් ජනතාව බලගැන්වීමට හැකිවනු ඇත .

මේ පිළිබඳ ව සෞඛ්‍ය බලධරයන්ගේ මෙන්ම ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ද අවධානය යොමු කරනු කැමැත්තෙමු .

ධම්මික එදිරිසිංහ
සභාපති
රෝගීන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ ජාතික සංවිධානය

1,035 views
Main News