සන්ධානය ඡන්දෙන් පැරදුනේ ජනපති නිසා කියා සුසිල් කියයි.. දැන් මොකද කියන්නේ..

January 15, 2017 at 11:20 am | lanka C news
සන්ධානය ඡන්දෙන් පැරදුනේ ජනපති නිසා කියා සුසිල් කියයි.. දැන් මොකද කියන්නේ..

ජී. එස්. පී සහනය යනු මහින්ද රාජපක්ෂ පාලනය අවසන් කර රට පාවා දීමේ කොන්ත්‍රාත්තු‍ව ඉටු කිරීම වෙනුවෙන් මෛත්‍රී- රනිල් හවුල් ආණ්ඩුවට අධිරාජ්‍යවාදීන්ගෙන් සහ ඩයසේපෝරාවෙන් ලැබුණ සන්තෝෂමක් බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

විදෙස් බලවේගයන්ට කිසිවිටෙක හිස නොනැමූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට පාඩමක් ඉගැන්වීම සඳහා යුරෝපා කොමිසම ජී. එස්. පී ප්ලස් සහනය මෙරටට අහිමි කළ බව පෙන්වා දුන් රණතුංග මහතා එයින් ඵලක් නොවූ තැන රාජපක්ෂ පාලනය එළවා දැමීම සඳහා 2015 ජනාධිපතිවරණයේ දී සැලසුම් සැකසූ බවත් පෙන්වා දුන්නේය.

එම සහනය ලබා දීම පසුපස සැඟවී ඇති කොන්දේසි එකක්වත් ආණ්ඩුව ජනතාවට හෙළි කර නැති බවට චෝදනා කළ රණතුංග මහතා මහින්ද රාජපක්ෂට අකැප මෛත්‍රීපාල සිරිසේනට කැප ජී. එස්. පී සහනය ලබා ගැනීම වෙනුවෙන් ආණ්ඩුව ජාත්‍යන්තරය ඉදිරියේ දුන් පොරොන්දු වහාම රටට හෙළි කළ යුතු බවත් අවධාරණය කළේය.

ප්‍රසන්න රණතුංග මහතා මේ අදහස් පළ කළේ පෙරළියක ඇරැඹුව ජනරැලිය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ ආසනයේ වෘත්තිකයන් හා ක්‍රියාකාරීන් දැනුවත් කිරීමේ අවස්ථාවකට උඩුගම්පොළ දී එක්වෙමිනි.

ප්‍රසන්න රණතුංග මහතා එහිදී වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය.

සුසිල් ප්‍රේමජයන්ත ඇමැතිවරයා ප්‍රකාශ කර තිබුණා පසුගිය මහ මැතිවරණය අවස්ථාවේ තමාව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ධූරයෙන් ඉවත් නොකළා නම් මැතිවරණය ජයග්‍රහණය කරලා අපේ ආණ්ඩුවක් හදන්න තිබුණා කියලා. එතුමටත් දැන් තේරිලා තිබෙනවා 2015 අගෝස්තුවේ තිබුණු මැතිවරණයේ පරාජයට පක්ෂයේ නායකත්වය වගකිව යුතුයි කියලා.

අපි එදා සිටම දැනගෙන හිටියා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්තමාන නායකයාට පක්ෂය ජයග්‍රහණය කරා ගෙන යන්න වුවමනාවක් නැහැ කියලා. ඒක මැතිවරණයේ දී පැහැදිලිව ඔප්පු වුණා. මහින්ද රාජපක්ෂ මහතාට අගමැති ධූරය ලැබිලා ආණ්ඩුවවක් පිහිටුවන්න ලැබෙයි කියලා බයෙන් පුළුවන් තරම් කකුලෙන් ඇද්දා. එහෙම නොකළා නම් අද තියෙන්නේ පිරිසිදු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක්.

සුසිල්  ඇමැතිතුමා වගේ අනෙකුත් ශ්‍රී ලංකා ඇමැතිවරුනුත් පහුවෙලා හරි  මේ ඇත්ත තේරුම් ගත යුතුයි. තේරුම් ගත්තා වගේම අපේ පක්ෂයට හතුරුකම් කරපු නායකත්වයට විරුද්ධව එළියට බහින්නත් ඕනේ. මොකද අපේ පාක්ෂිකයෝ අපිට ඡන්දය දුන්නේ අලියාගේ නැට්ටේ එල්ලෙන්න නොවෙයි. කොන්ද පණ තියෙන කිසිම මන්ත්‍රීවරයෙක් එක්සත් ජාතික පක්ෂයේ පිළිකන්නේ ලගින්න යා යුතු නැහැ.

මේ දෙමුහුන් ආණ්ඩුවට කර ගහන කාටත් උරුම වෙන්නේ ජනතා ශාපය විතරයි. ඒකාබද්ධ විපක්ෂය මේ ආණ්ඩුව 2017 දි ගෙදර යවන වැඩපිළිවෙළ දැන් ආරම්භ කර තිබෙවා. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරුන්ගෙන් ඉල්ලා හිටින්නේ තමන්ගේ හෘදය සාක්ෂියෙන් අහලා බලලා තීන්දුවක් අරන් මේ දේශද්‍රෝහී ආණ්ඩුව ගෙදර යවන වැඩපිළිවෙළට දායකත්වය දෙන්න කියලයි.

රට පාවා දෙන ආණ්ඩුව ගෙදර යවන්න දායකත්වය නොදෙන කිසිම නිදහස් පක්ෂ මන්ත්‍රීවරයකුට ආයෙත් ඡන්දය ඉල්ලගෙන ජනතාව ඉදිරියට නම් යන්න අවස්ථාවක් ලැබෙන එකක් නැහැ. ඒ වගේම මහින්ද රාජපක්ෂ මහත්තයාගේ නායකත්වයෙන් අපි හදන ආණ්ඩුවක දී වාසියට පැනලා දත් විලිස්සාගෙන එන වාචාලයන්ට ඉඩක් ලැබෙන්නෙත් නැහැ.

බැඳුම්කර වංචාව, පළාත් පාලන මැතිවරණය වගේ කාරණා අද ආණ්ඩුවේ ඇමැතිවරුන්ට නයාට අඳුකොළ වගේ වෙලා. මාධ්‍ය හමුවක දී මේවා ගැන ඇහුවාම ඇතැම් ඇමැතිවරුන් හැසිරෙන්නේ ගැරඬියාට භුමිතෙල් ගැහුවා වගෙයි. මහ‍ ලොකුවට මාධ්‍ය නිදහස ගැන කථා කරමින් බලයට ආවට අද මාධ්‍යවේදියකුට ප්‍රශ්නයක් අහන්නවත් ඉඩක් නැහැ.

රාජිත සේනාරත්න ඇමැතිවරයා කැබ්නට් මාධ්‍ය හමුවෙදි හැසිරෙන්නේ වියරුවෙන් වගෙයි. මාධ්‍යවේදීන්ට ප්‍රශ්න අහන හැටි උගන්වන්න හදනවා විතරක් නොවෙයි සමහර වෙලාවට තර්ජනයත් කරනවා. රවී කරුණානායක, මලික් සමරවික්‍රම ඇමැතිවරුන්ගෙන් බැඳුම්කරය ගැන ඇහුවොත් මාධ්‍ය හමුව එතැනින් ඉවරයි.

පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාෆාගෙන් පළාත් පාලන ඡන්දය ගැන ඇර ඕනේම දෙයක් අහන්න පුළුවන්. පළාත් පාලන ඡන්දය ගැන ඇහුව ගමන් මුස්තාෆා පරල වෙනවා. අද මුළු රටම දන්නවා ආණ්ඩුව පරාජයට බයේ පළාත් පාලන ඡන්දය කල්දාමින් ඉන්න බව. හැබැයි මුස්තාෆා මාධ්‍ය ඉස්සරහට ඇවිත් කියන්නේ වෙන වෙන දේවල්.

මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය ඒ අය කියන කියන පදයට නැටුවේ නැති නිසා තමයි යුරෝපා කොමිසම ලංකාවට ජී. එස්. පී සහනය නැති කළේ. කොටි ත්‍රස්තවාදය පරාජය නොකළා නම් මහින්ද රාජපක්ෂ මහත්තයා තාමත් මේ රටේ ජනාධිපති. එහෙනම් ජී. එස්. පී සහන නැති වෙන්නෙත් නැහැ. අධිරාජ්‍යවාදීන් තරහා වෙන්නෙත් නැහැ.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ධූරය අතහැර යන්න වුණේ තමන්ට ලැබුණු ජනවරම අනුව කටයුතු කරන්න ගිහිල්ලයි.ජනතාව එතුමට ඡන්දය දුන්නේ කොටි පරද්දන්න මිසක් ජී. එස්. පී රැකගන්න නොවෙයි. මහින්ද මහත්තයත් ජී. එස්. පී සහන බලාගෙන වැඩ කළා නම් අද තාමත් ප්‍රභාකරන් ජීවත් වෙලා ඉන්නවා.

2015 ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ මහතා එළවීමේ සැලසුම සකස් කළේ අධිරාජ්‍යවාදීන් සහ දෙමළ ඩයස්පෝරාව එකතු වෙලයි. අන්න ඒ කුමන්ත්‍රණය සාර්ථක කරන්න උපකාර කරපු දේශීය නියෝජිතයන්ට අධිරාජ්‍යවාදීන්ගෙන් සහ ඩයස්පෝරාවෙන් ලැබුණ සන්තෝෂම තමයි ජී. එස්. පී සහනය කියන්නේ. මේ සහනය රට පාවා දීලා ගත්ත සහනයක්.

ජී. එස්. පී සහනය ගන්න මේ ආණ්ඩුව රටට හානිකර කොන්දේසි ගණනාවකට එකඟ වෙලා තියෙනවා. උතුරට ඉඩම්, පොලිස් බලතල දීම, යුද අපරාධ සෙවීම සඳහා විදෙස් විනිසුරන් ගෙන්වා ගැනීම වගේ කොන්දේසි ඒ අතර තිබෙනවා කියලා අපට දැනගන්න ලැබිලා තිබෙනවා.ඒ කොන්දේසි මොනවාදැයි දැන ගන්න ජනතාවට අයිතියක් තිබෙනවා. ආණ්ඩුව ඒ කො‍න්දේසි ජනතාවට හෙලි කළ යුතුයි.

– ප‍්‍රදීප් අනුර කුමාර

0 views

2 Comments to “සන්ධානය ඡන්දෙන් පැරදුනේ ජනපති නිසා කියා සුසිල් කියයි.. දැන් මොකද කියන්නේ..”

  1. sujatha says:

    ඔබ තුමාගෙ කතාව සම්පූර්න ඇත්ත

  2. බන්ඩා says:

    බොරැ කියල චන්ද අරන් දැන් අවුරැදු 2 ක් වෙනවා. අලුතින් ෆැක්ටරි කීයක් පටන් ගත්තද? GSP ගේනවලු මාලු තහනම ඉවත් කොර ගත්තලු ජාතියන්තරය හරි යාලුය්ලු. හැබැයි රටේ අපනයන අාදායම දිගින් දිගටම පහත වැටේ‍නවා. සෝරස් අාවට අායෝජකයො අාවෙ නැහැ. වොක්ස්වාගන් කියල ගෙනාවෙ ‘බොරැ වොක්ස්වාගන්’ ෆැක්ටරියක්. අවුරැදු පහම රාජපක්‍ෂලට බැනපල්ලා. දැන් දෙය්යොත් කෝප වෙලා කර වෙන්න පායනව. ලඟදිම ලයිට් කපන්නත් පටන් ගනීවි.

Main News