සහල් ටොන් 97,000ක් දිරන්න ඇරලා.. සත්ව ආහාරවලට දෙන්න සූදානමක්..

September 24, 2016 at 8:02 am | lanka C news
සහල් ටොන් 97,000ක් දිරන්න ඇරලා.. සත්ව ආහාරවලට දෙන්න සූදානමක්..

අනුන්ගේ වංචා, දූෂණ හා නාස්තිය ගැන පැය 24 පුරාම මාධ්‍ය සංදර්ශන පවත්වන වත්මන් ආණ්ඩුව සතොස ගබඩා තුළ සහල් මෙට්‍රික් ටොන් 97,000ක් දිරාපත් වීමට ඉඩ හැර ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා හෙළිදරව් කර සිටියේය.

කෝප් කමිටුව විසින් ලක් සතොස, සතොස ආයතනවල ඉහළ නිලධාරීන් කැඳවා සිදු කළ පරීක්ෂණයක් අතරතුර මේ දැවැන්ත මහජන මුදල් නාස්තිය අනාවරණය කිරීමට හැකි වූ බවද කෝප් කමිටු සාමාජිකයකු වන ඒ මහතා සඳහන් කළේය.

වීරකුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ පසුගියදා එන්. එම්. පෙරේරා මධ්‍යස්ථානයේදී පැවැති ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නාකයන්ගේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

“ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිවරයා දිගින් දිගටම කෝප් කමිටුව විසින් සිදුකරන මහ බැංකු බැඳුම්කර විමර්ශනය ගැන කතා කරනවා. කෝප් කමිටුව කටයුතු කරන්නේ පාර්ලිමේන්තුව එය වෙත පැවරූ වගකීම අනුවයි. මීට ඉහතදී කථානායකවරයා ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිවරයාට අවවාද කර තිබෙනවා, ‘කෝප් කමිටුව හමුවේ තිබෙන මේ පරීක්ෂණය පිළිබඳව තැන තැන කථා කරන්න එපා!’ කියලා. ඔහු ඒ අවවාදය පාර්ලිමේන්තුවේදී පිළිගනු ලැබුවා. ඒත් පසුගියදා නැවත ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිවරයා පවසා තිබෙනවා, ‘මහබැංකු බැඳුම්කර සිදුවීමට අදාළව කෝප් කමිටුව විසින් සිදු කළ පරීක්ෂණයේ අවසන් වාර්තාව මගින් ලැබෙන්නේ බෙදුණු තීරණයක්’ කියලා. මේ විදියට දිගින් දිගටම මහ බැංකු බැඳුම්කර සිදුවීම පිළිබඳ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අදහස් දක්වන්නේ ඔහුත් මේ සිදුවීමට කුමන හෝ සම්බන්ධයක් තිබෙන නිසයි කියන සැකය අපට දැන් මතුව තිබෙනවා.

මේ බැඳුම්කර සිදුවීම ගැන පමණක්ම කථා කරන මේ කිරිඇල්ල ඇමතිවරයාට පසුගියදා කෝප් කමිටුව හමුවේ පැවැති ඉතාමත් වැදගත් පරීක්ෂණයක් පිළිබඳවත් කථා කරන්න කියලා අපි මේ අවස්ථාවේ කියනවා. අපි පසුගිය වැනිදා කෝප් කමිටුව විදියට ලක් සතොස හා සතොස ආයතනවල ඉහළ නිලධාරීන් මෙන්ම අදාළ අමාත්‍යාංශයේ ලේකම්වරයාද කැඳවූවා. එහිදී අමාත්‍යාංශ ලේකම්වරයා සතොස, ලක් සතොස ආයතනවල සභාපතිවරුන් ඇතුළු සියලු නිලධාරීන් එකහඬින් කියා සිටියා ‘බොරු චෝදනා ඉදිරිපත් කරලා නඩු කටයුත්තක් නිර්මාණය කරලා අද සතොස ගබඩා තුළ මිනිස් පරිභෝජනයට සුදුසු සහල් මෙට්‍රික් ටොන් 97,000ක් දිරන්න ඇරලා තිබෙනවා, ඒක ජාතික අපරාධයක්’ කියලා.

මේ ආණ්ඩුව බලයට ආවේ වංචාව, නාස්තිය, දූෂණය වළක්වන්න. මේ සහල් මෙට්‍රික් ටොන් 97,000 ගබඩා තුළ දිරන්න ඇරීම තුළ වංචාවක්, දූෂණයක් හා නාස්තියක් තිබෙනවා. ‘පුළුවන් නම් මේ නාස්තිය, වංචාව, දූෂණය ගැන හොයන්න’ කියලා අපි ජනාධිපති, අගමැති හා කිරිඇල්ල ඇමතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. ‘මේ ගබඩා සීල් කරලා. අපට යන්න බැහැ, නඩු කටයුත්තක් තිබෙන නිසා. ඒත් මේ ජාතික අපරාධය වළක්වන්න වහාම මැදිහත් වෙන්න’ කියලා ඉහත නිලධාරීන් කෝප් කමිටුවේ අපෙන් ඉල්ලා සිටියා. මේ සහල් මෙට්‍රික් ටොන් 97,000 එක වෙලාවක පාවිච්චි කළා දේශපාලන මඩ ගැසීමක් සඳහා. මේ සහල් තොගය මේ විදියට දිරන්න ඇරලා තිබෙනවා කියා දැනගත්තාම කෝප් කමිටුවේ අපි සියලු දෙනාම පුදුමයට පත් වුණා. අපි කෝප් කමිටුව විදියට මහ බැංකු බැඳුම්කර සිදුවීම ගැන පමණක් නොවයි සියලු පොදු ව්‍යාපාරයන්හි සිදු වන වංචා, දූෂණ අක්‍රමිකතා සොයා බලනවා. ඒ නිසා අපි කිරිඇල්ල ඇමතිවරයාට කියනවා ‘එක දවසක් අර ජනාධිපති සහ මුදල් ඇමති විශාල මත්කුඩු තොගයක් අල්ලන්න ගියා වගේ, ඒ අයත් එකතු කර ගෙන මේ මහා ජාතික අපරාධය වළක්වන්න මේ සහල් තොගය ගබඩා කර තිබෙන තැනට යන්න’ කියලා. සහල් කිලෝ ලක්ෂ 970ක් මෙතැන දිරන්න ඇරලා තිබෙනවා. මේ විනාශ වී යන්නේ මහජන මුදල්. මේ සහල් ප්‍රමාණය තවමත් මිනිස් පරිභෝජනයට සුදුසු තත්ත්වයේ තිබෙන බව ඒ නිලධාරීන් පවසනවා. ඉදිරියේදී මේ මහ ලොකු යහපාලන ආණ්ඩුව මේ සහල් තොගය මිනිස් පරිභෝජනයට නුසුදුසුයි කියලා ‘සත්ත්ව ආහාර’ ලෙස සමාගම් කිහිපයකට විකුණා දමාවි. ඇතැම්විට සහල් මාෆියාවේ හෝ වෙනත් අයකුගේ උවමනාවට මේ සහල් තොගය සත්ත්ව ආහාර බවට පත් වන තෙක් මෙහෙම තබාගෙන ඉන්නවා වෙන්න පුළුවන්. මේ දැවැන්ත නාස්තිය, දූෂණය, වංචාව නතර කිරීමට මේ යහපාලන ආණ්ඩුව වහා මැදිහත් විය යුතුයි.”

– අනුරුද්ද බණ්ඩාර

8 views

2 Comments to “සහල් ටොන් 97,000ක් දිරන්න ඇරලා.. සත්ව ආහාරවලට දෙන්න සූදානමක්..”

  1. Vahapaala says:

    only ARALIYA-SAHAL for sale in sathosa

  2. Nareen says:

    U.N.P. eka kaaveth, idiriyata kaala vinaasa karana aya athuren ekek, Naayakaya mara ninde.

Main News