සේවකයන් 23කට කොරෝනා.. සිරියෝ ලිමිටට් වසා දමයි..

December 3, 2020 at 8:40 am | lanka C news
සේවකයන් 23කට කොරෝනා.. සිරියෝ ලිමිටට් වසා දමයි..

කොරෝනා ආසාදිතයන් කිහිප දෙනෙකු හමුවීමෙන් පසු බඩල්ගම පිහිටි සිරියෝ ලිමිටඩ් ආයතනය තාවකාලිකව වසා දමා ඇත.

ඒ සම්බන්ධයෙන් එම සමාගම විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

නිල නිවේදනය

බඩල්ගම කටුකෙන්ද පිහිටි සිරියෝ සමාගම වන අප ආයතනය දෙදහසකට අධික තරුණ තරුණියන් හට ඍජු රැකියාවන් සපයමින් ඔවුන්ගේ පවුල්වල දස දහසකට අධික පිරිසක් පෝෂණය කරන මෙරට සිටින ප්‍රමුඛ පෙලේ නිමි ඇගලුම් අපනයන සමාගමකි. අප්‍රියෙල් මස ආයතනය ආරම්භ කල මොහොතේ පටන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සහයෝගය ඇතිව රජය, ආයෝජන මණ්ඩලය හා සෞඛ්‍ය අංශ විසින් ලබාදුන් උපදෙස් අකුරටම පිළිපදිමින් අප කටයුතු කරනු ලැබුවේ අප සතු වටිනාම සම්පත වන අප සාමාජික සාමාජිකාවන්ගේ සෞඛ්‍ය හා ආරක්ෂාව සුරක්ෂිත කිරීම වෙනුවෙනි. ඉහත අරමුණ තවදුරටත් සාක්ෂාත් කර ගැනීම සඳහා මේ වන විට පී.සි.ආර්. පරීක්ෂණ 900කට අධික ප්‍රමාණයක් ආයතනයේ වියදමින් සිදුකර ඇත.

මෙසේ සුපුරුදු ලෙස අප ආයතනය පවත්වා ගෙන ගිය මොහොතක, අප ආයතනයේ නිෂ්පාදන අංශයේ සේවය කරන ලද සාමාජිකාවක් උණ, හෙම්බිරිස්සාව සදහා ප්‍රතිකාර ගැනීමට මීගමුව රෝහල වෙත ගිය විට රෝහල් කාර්යමණ්ඩලය විසින් ඇයට දින 14ක් ස්‌වයං නිරෝධායනය වන ලෙස දන්වා ඇත. අප ආයතනය විසින් සතිපතා කරනු ලබන පී.සි.ආර්. පරීක්ෂාවට අප ඇය වෙනම කැදවු අතර එහිදී ඇය කෝවිඩ් 19 වෛරසය ආසාධනය වී ඇති බව 2020 නොවැම්බර් 25 වන දින දැනගන්න ලදී.

රටෙහි පවත්නා තත්වය සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි තුමාගේ උපදෙස් පරිදි සිදුවිය හැකි බලපෑම සලකා බලා එදිනම ඇයගේ මුල් ආශ්‍රිතයන් ස්වයං නිරෝධායනයට යොමු කල අතර පසුදින දෙවන පෙළ ආශ්‍රිතයන් ද සොයා මොවුන් සියල්ලන්වම පී.සි.ආර්. පරීක්ෂණ සඳහා යොමු කරන ලදී. එහිදී ලද ප්‍රථිපල අනුව මොවුන් සියල්ලන්ම ආසාධිතයන් නොවනා බව තහවුරු විය. තවද නැවත කරනා ලද පී.සි.ආර්. පරීක්ෂාවකදී අප ආයතනයට දිනපතා පැමිණෙන වෛද්‍යවරයාගේ නිර්දේශ මත යොමු කරනා ලද නිෂ්පාදන අංශයේ සේවය කරනා සාමාජිකාවන් 2කුද කෝවිඩ් 19 වෛරසයට ආසාධනය වී ඇති බව 2020 නොවැම්බර් 29 වන දින අප දැනගන්නා ලදී. කෙසේ වුවද ඔවුන්ගේ ආශ්‍රිතයන් සොයා ඔවුන්ව පී.සි.ආර්. පරීක්ෂාවට සහ ස්වයං නිරෝධානයට යොමු කිරීමට කටයුතු කරනා ලදී.

එහිදී අප කලාපීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී තුමාගේ අනුදැනුම මත කළ පී.සි.ආර්. පරීක්ෂණ 150ක් අතුරින් සිරියෝ ආයතනයේ වැඩ කරන සාමාජික සාමාජිකාවන් 23ක් කෝවිඩ් 19 වෛරසයට ආසාධනය වී ඇති බව 2020 දෙසැම්බර් 02 දින අප දැන ගන්නා ලදී. මේ වන විට ඔවුන්ගේ ආශ්‍රිතයන් තවදුරටත් සොයා ඔවුන්ව පී.සි.ආර්. පරීක්ෂාවට සහ ස්වයං නිරෝධානයට අප යොමු කරමින් සිටී. මේ සඳහා 2020 දෙසැම්බර් 2 දින කලාපීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී තුමාගේ අධීක්ෂණය මත පී.සි.ආර්. පරීක්ෂණ 500 ක ප්‍රමාණයක් සිදු කරමින් පවතී.

ගම්පහ කලාපීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමා ආයතනය වසා නොදමන ලෙස අප හට පැවසුවත් පවතින තත්වය හේතුකොටගෙන තවදුරටත් මෙම වෛරසය පැතිරයාම වැලැක්වීම සදහා අප ආයතනය දින කිහිපයකට වසා දැමීමට මේ වනවිට ආයතනයේ කළමණාකාරීත්වය තීරණය කොට ඇත.

සෞඛ්‍ය අංශ විසින් ලබාදෙන විධි විධාන සහ උපදෙස් ඒ අයුරින්ම පිලිපදිමින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අපගේ උපරිම දායකත්වය ලබාදෙමින් ක්‍රියාත්මක වෙමින් සිටින මේ මොහොතේදී මෙම අවස්ථාව ඉතාම මැනවින් අවබෝධ කරගෙන වැඩ කටයුතු කරන මෙන් අපගේ ආදරණීය සේවක මණ්ඩලයටත් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ටත්,ප්‍රදේශවාසීන් ඇතුළු සියලු දෙනාගෙනුත් කාරුණිකව ඉල්ලා සිටින අතර මේ අවස්ථාවේ ඉවසීමෙන් කටයුතු කරනා ඔබ සැමට අපගේ ස්තුතිය පුදකරන්නෙමු .

– Sirio Ltd

46,495 views

One Comment to “සේවකයන් 23කට කොරෝනා.. සිරියෝ ලිමිටට් වසා දමයි..”

  1. නාරද says:

    හොඳ සමාගමක් වාගේ දැනෙනවා! හරිද මන්දා. ධම්මෝ හවේ රක්ඛති කිව්වා!

Main News