පිළිගත යුත්තේ ආණ්ඩුවේ කවර පාර්ශ්වය කියන කතාවද.. ආණ්ඩුවේ කසල සෝධකයන්..

February 12, 2017 at 3:50 pm | lanka C news
පිළිගත යුත්තේ ආණ්ඩුවේ කවර පාර්ශ්වය කියන කතාවද.. ආණ්ඩුවේ කසල සෝධකයන්..

පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනමතවිචාරණයකින් පමණක් වෙනස් කළ හැකි වගන්තිවලට අත නොතබන බවට සහතික වී බලයට පැමිණි ජනාධිපතිවරයකු ධුරය දරන විට ඔහුගේ ආණ්ඩුවේ පාර්ශ්වයක් වන පාර්ලිමේන්තුවේ සභානායකධුරය, විදේශ අමාත්‍යධුරය දරන එජාප මන්ත්‍රීවරුන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ජනමතවිචාරණයකින් සම්මතකර ගන්නා බවට පවසන විට ජනතාව පිළිගත යුත්තේ කවර මතයද?’ යන බරපතළ ගැටළුව රට හමුවේ පැන නැගී ඇති බව ජාතික නිදහස් පෙරමුණ පෙන්වා දෙයි.

අද(12) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධශ හමුවේදී එහි ප්‍රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල් මහතා මෙසේ පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද සඳහන් කළේය.

“ආණ්ඩුව ලහිලහියේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රැගෙන ඒමට සූදානම් වන බව පෙනෙනවා. ඒ සඳහා නිර්දේශ ලබාගැනීමට පත් කළ අනු කමිටු 06හි වාර්තා මේ වන විට පාර්ලිමේන්තුවට ලැබී තිබෙනවා. ඒ නිර්දේශ මත පදනම්ව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක්ද සැකසෙන බවත් පැහැදිලියි.

නමුත් ගැටළුව ඇත්තේ මේ ආණ්ඩුවේ පාර්ශ්ව දෙක ඒ සම්බන්ධයෙන් රටට කියන දේ පරස්පර විරෝධි වීමයි. මෙසේ තිබියදී විදේශ අමාත්‍ය, එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර පසුගියදා විදේශ මාධ්‍ය හමුවේ පවසා තිබුණා, ‘අපි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කඩිනමින් ගෙන එනවා. ඒක ජනමතවිචාරණයකටත් ඉදිරිපත් කරනවා.’ එම ජනමතවිචාරණය ජය ගැනීම ආණ්ඩුවේ අභියෝගයක්. ඒ අභියෝගය ජය ගැනීමට ආණ්ඩුව සූදානමින් ඉන්නවා. ඒ සඳහා අපට විශේෂයෙන් ආණ්ඩු පක්‍ෂය තුළ ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත්‍රී කණ්ඩායමේත් ජනතා විමුක්ති පෙරමුණේත් සහයෝගය ලැබේවි කියා අපි විශ්වාස කරනවා” කියලා.

මේ ප්‍රකාශය පිළිබඳව පසුගිය 09 වැනිදා ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී සභානායක, එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතාගෙන් විමසා සිටියා. එහිදී ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පැහැදිලිව පැවසුවා, ‘ඔව්ෟ අපි නව ආණුඩක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එනවා. එය ජනමතවිචාරණයකට ඉදිරිපත් කරනවා’ කියලා. ඒ අනුව සභානායකවරයා පාර්ලිමේන්තුවේදි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනවිත එය ජනමතවිචාරණයකට ඉදිරිපත් කරන බව නිල වශයෙන් පිළිගත්තා. ඒ අනුව මේ ආණ්ඩුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනවිත් එය සම්මත කර ගැනීමට ජනමතවිචාරණයක් පවත්වා එය ජය ගැනීමට සූදානම් වන බව ඉතා පැහැදිලියි.

නමුත් 2015 ජනාධිපතිවරණයේදී එජාපයේ සහාය ඇතිව ජයගත් වත්මන් ජනාධිපතිවරයා ‘මෛත්‍රී පාලනයක් – ස්ථාවර රටක්’ යන තම ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් කිවේ කුමක්ද?‘පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනමතවිචාරණයකින් පමණක් වෙනස් කළ හැකි ව්‍යවස්ථා වගන්තිවලට අපගේ යෝජිත ව්‍යවස්ථා සංශෝධනයෙන් අත නොතබන බවට මම සහතික වෙමි’ එහෙම කියලා ජනතාවගේ ඔළුවේ අතගහලා දිවරපු ජනාධිපතිවරයකු සිටින රටේ සභානායකවරයා සහ විදේශ අමාත්‍යවරයා කියනවා ‘නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනිවාරියෙන්ම ජනමතවිචාරණයකට ඉදිරිපත් කරනවා’ කියලා. ඒ කියන්නේ පවතින ව්‍යවස්ථාවේ තිබෙන ජනමතවිචාරණයකින් පමණක් වෙනස් කළ හැකි ඒකීයභාවය වැනි වගන්ති වෙනස් කරනවා කියන එකයි.

ඒ අනුව මේ රටේ ජනාධිපතිවරයා ජනවරම ලබා ගැනීමේදී ලබාදීපු පොරොන්දුව සහ ආණ්ඩුවේ නිල ස්ථාවරය පරස්පරවිරෝධී වී තිබෙනවා.

අපට මතකයි චම්පික රණවක මහතා ඇතුළු ජාතික හෙළ උරුමය ජනාධිපතිවරණ සමයේ ජනතාවට සහතික වුණා ‘ඒකීයභාවය ඇතුළු පවතින ව්‍යවස්ථාවේ ඇති ජනමතවිචාරණයකින් පමණක් වෙනස් කළ හැකි කිසිදු වගන්තියකට අපේ ආණ්ඩුවකින් අත තියන්නේ නැහැ’ කියලා. ඒ වගේම ජනාධිපතිවරණයෙන් සහ මහ මැතිවරණයෙන් පසුවත් ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඩිලාන් පෙරේරාලා, හෙළ උරුමයේ චම්පික රණවකලා දිගින් දිගටම පවසපු දේ තමයි ‘යෝජිත ව්‍යවස්ථාවෙත් පවතින ව්‍යවස්ථාවේ ඇති ජනමතවිචාරණයකින් පමණක් වෙනස් කළ හැකි වගන්තිවලට අත තියන්නේ නැහැ’ කියන එක.

‘යෝජිත ව්‍යවස්ථාව ජනමතවිචාරණයකට ඉදිරිපත් කරනවා’ කියා සභානායකවරයා පාර්ලිමේන්තුවට පවසන විට සහ විදේශ අමාත්‍යවරයා විදේශ මාධ්‍යවලට පවසන විට ජනතාව පිළිගත යුත්තේ එයද? එහෙම නැතිනම් ආණ්ඩුවේ අනෙක් පලුව වන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මෛත්‍රී පාර්ශ්වය හා ජාතික හෙළ උරුමය පවසන දෙයද? ‘දැන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව ආණ්ඩුවේ එජාප පලුව සහ ශ්‍රී ලනිප – හෙළ උරුම පලුව කියන කතාවලින් ජනතාව පිළිගත යුත්තේ කවර කතාවද?’ කියා ආණ්ඩුව ජනතාවට පැවසිය යුතුයි.

ජනතාව තේරුම්ගත යුතුයි ‘මේ ආණ්ඩුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රැගෙන ඒමට සූදනම් වෙන්නේ මේ රට ෆෙඩරල්කරණය කිරීමටයි’ කියලා. ඒ වගේම මංගල සමරවීර විදේශ අමාත්‍යවරයා පවසා තිබෙනවා ‘යුද අපරාධ අධිකරණයක් පිහිටුවීමේ යාන්ත්‍රණය සැකසීමට, නව අධිකරණ යාන්ත්‍රණයක් සැකසීමට හා සත්‍ය සෙවීමේ කොමිසම පිහිටුවීමට මේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පහසුවක් වනු ඇති’ කියලා. ඒ අනුව ඉතා පැහැදිලියි’ මේ නව ව්‍යවස්ථාව මගින් රට ෆෙඩරල්කරණය කිරීමේ න්‍යාය පත්‍රය් ජිනීවා න්‍යාය පත්‍රයත් ඉදිරියට ගෙන යාමයි ආණ්ඩුවේ උවමනාව.

මම දැක්කා පසුගිය දිනයක ඩිලාන් පෙරේරා මහත්තයා කියනවා ‘අපි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කරුමක්කාරයෝ’ කියලා. ඔව් ඒක ඇත්ත. ඔවුන් අද කරන්නේ කරුමක්කාර වැඩක්. ඔවුන් අද ආණ්ඩුව ඇතුළට වෙලා කරන්නේ මේ ආණ්ඩුවේ ‘කසල සෝධක’ වැඬේ. ඒ නිසයි 2015 ජනවාරි ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහත්තයා දුන් ප්‍රමුඛතම පොරොන්දුවක්, ආණ්ඩුවේ එජාප පලුව අමු අමුවේ කඩාබිඳ දමන කොට ඒ පළිබඳව වචනයක්වත් කතා නොකරන්නේ”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

6 views

2 Comments to “පිළිගත යුත්තේ ආණ්ඩුවේ කවර පාර්ශ්වය කියන කතාවද.. ආණ්ඩුවේ කසල සෝධකයන්..”

  1. jayamal says:

    කඩිමුඩියේ නව ව්‍යවස්තාව පාර්ලිමේන්තුවට ගේන්නත් එතනින් අනුමත කරගෙන ජනමත විචාරණයකට ගෙනියන්නත් සූදානම් බවට මාධ්‍ය වාර්තා දැක්කා. ඒකීය ලේබලයට මුවා වී රට කැබලි නවයකට කඩන්නත් අසිරිමත් බුදුසසුනට මෙතෙක් ලැබුන ප්‍රමුඛත්වය දී ආරක්ශා කිරීම නවතා රට “අනාගමික” කරන්නත් සූදානම් බව ඉතාම පැහැදිළියි. එවැනි නව ව්‍යවස්තාවකටවත් ව්‍යවස්තා සංශෝධන වලටත් අපෙන් කිසි සේත් ඉඩ ලැබෙන්නෙ නැහැ. දිවි හිමියෙන් මෙයට විරුද්ධව සටන් කරන්න සැබෑ දේශප්‍රේමී සියලුම දෙනා එක ධජයක් යට එක් රොක් වෙමු. මාතෲ භූමිය රැක ගැනීමට එක් රොක් වෙමු. ජයෙන් ජයම වේවා!

  2. Champa says:

    Quote: “ජනතාව තේරුම්ගත යුතුයි ‘මේ ආණ්ඩුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රැගෙන ඒමට සූදනම් වෙන්නේ මේ රට ෆෙඩරල්කරණය කිරීමටයි’ කියලා.” Unquote:

    කතා දෙකක් නැහැ. මේ කතාවට එකඟයි. මේ ආණ්ඩුව මොන විදියේ ව්‍යවස්ථාවක් ගෙනාවත්, අකුරු වෙනස් කරලා වචන වෙනස් කරලා ගේන්නේ ෆෙඩරල් ව්‍යවස්ථාවක්.

    ඒ නිසා කොන්දේසි විරහිතව මේ ව්‍යවස්ථාව විරුද්ධ වෙන්න ඕනේ. මුළු රටම විරුද්ධ වෙන්න ඕනේ. කොටස් වශයෙන් ගන්නේ නැතුව සම්පූර්ණ ව්‍යවස්ථාවම ප්‍රතික්ෂේප කරන්න ඕනේ. මේ වගේ ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගේනවා තියා ඒක කෙටුම්පත් කරන්නවත් ඉඩ දෙන්න හොඳ නැහැ.

    මේ ලියන වචන මට හොඳට හුරුපුරුදුයි. මට හිතන්නේ මම මාස ගානකට ඉස්සෙල්ල ලියපු දේවල් ආයේ ලියනවා කියලා. ඒ කියන්නේ ෆෙඩරල් ව්‍යවස්ථාව ගැන සටන ආපිට ආපහු අලුතින් පටන් ගන්න වෙනවා කියන එකද?

    අයියෝ මේ යක්කු ජනතාවට සැනසීමක් දෙන්නේ කවදද? ජනාධිපතිතුමා පොරොන්දු වුනෑනේ මහනායක හාමුදුරුවරුන්ට මේ කෙටුම්පත් 6ට ඉඩ දෙන්නවත් රට බෙදන ව්‍යවස්ථාවක් ගේන්න ඉඩ දෙන්නේවත් නැහැ කියලා.

    මොකක්ද මේ කියන්නේ? ජනාධිපතිතුමා රටටම දුන්නු පණිවුඩේ, තමන්ගේ කැබිනට් ඇමතිවරුන්ට දුන්නේ නැහැ කියලාද? එහෙම නැත්නම් සාමුහික වගකීමක් නැතුව එක එක ඇමතිවරු තම තමන්ට ඕනේ විදියට පාර්ලිමේන්තුවේ කතා කරනවා කියලද? විදේශ ඇමති ජාත්‍යන්තර ප්‍රජාවට කියන්නේ ජනාධිපතිවරයාගේ මතයද, නැත්නම් එයාගේ පෞද්ගලික මතයද? මම හිතන්නේ මංගලට ජනාධිපතිතුමා මීට කලිනුත් අවවාද කළා නේද මේ වගේ clash එකක් හින්ද?

    ශත පහකට විශ්වාස කරන්න බැහැ හොර ආණ්ඩුව. රනිල් හැම ගේමක්ම ගෙනියන්නේ යටින්. විමල් හිරේ ඉන්න අතරේ හිමිහිට ව්‍යවස්ථාවේ වැඩේ කරගෙන යනවා වගේ.

    විමල් රිමාන්ඩ් බන්ධනාගාරයේ ඉඳලා ඇවිල්ලත් හැමදේම ගැන හොයන හින්දා හොඳයි. නැත්නම් කවුරුවත් දන්නේ නැහැ. විමල් ප්‍රශ්නේ අහපු නිසා කිරිඇල්ලට පිළිගන්න වුනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනල්ල ජනමත විචාරණයකට යනවා කියලා.

    මංගලගේ කතාව ඊට වැඩ භයානකයි. යුධ අධිකරණය ගැන නම් කියන්න තියෙන්නේ සරල කාරණාවක්. ඕක ගේන එකා මොකා වුනත් කාගෙන් හරි මැරුම් කනවා.

    මම හිතන්නේ මල්වතු අස්ගිරි මහනායක හාමුදුරුවරු සහ රටේ අනිත් හාමුදුරුවරු මේ ඇමතිවරු දෙන්නගෙම කතාව ගැන ජනාධිපතිතුමාගෙන් පැහැදිලි කිරීමක් ඉල්ලා හිටියොත් හොඳයි කියල.

    ජාතික නිදහස් පෙරමුණටත් මුසම්මිල් මහතාටත් ස්තූති කරනවා මේ අළුත් තත්වය ගැන මහජනතාව දැනුවත් කිරීම ගැන.

    ආයේ ආයේ කියන්න දෙයක් නැහැ මුළු රටම විරුද්ධයි මේ ව්‍යවස්ථාවට. අපි අපේ මුළු ශක්තියම යොදවල මේකට එරෙහි වෙනවා. ජනමතවිචාරණයකට යන්න තරම් දුර මේක ගෙනියන්න කොයි විදියකටවත් ඉඩ දෙන්නේ නම් නැහැ.

Main News