2020 මාර්තු සිට විවේකයක්, නිවාඩුවක්, දිරි දීමනාවක් නෑ.. වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට අසාධ්‍යයි..- දොස්තරලා ලිඛිතව දැනුම් දේ…

May 15, 2021 at 3:24 am | lanka C news
2020 මාර්තු සිට විවේකයක්, නිවාඩුවක්, දිරි දීමනාවක් නෑ.. වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට අසාධ්‍යයි..- දොස්තරලා ලිඛිතව දැනුම් දේ…

සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය විසින් සෞඛ්‍ය ඇමතිනී පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි.

2021.05.13

පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය
ගරු සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය

මහත්මියනි,

සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීන් ඇතුළුව කොවිඩ් නිවාරණ කටයුතුවල යෙදී සිටින සෞඛ්‍ය කාර්‍යමණ්ඩල මුහුණ දී සිටින අනවරත ගැටළු සම්බන්ධවයි.

ශ්‍රී ලංකාව තුල කොවිඩ් වසංගතය ආරම්භ වූ 2020 මාර්තු මාසයේ සිට අද වන තුරු කිසිදු දිරි දීමනාවක් හෝ විවේකයන් නොමැතිව තවදුරටත් නිවාඩු ලබා නොගනිමින් සේවය කරන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්‍යාල වලට අනුයුක්ත සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු සමස්ත කාර්‍ය මණ්ඩලයේ සේවය තවදුරටත් ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වෙමින් පවතී. සෑම දිනකම පාහේ කොවිඩ් වසංගත පාලනය කිරීමේ කටයුතු මධ්‍යම රාත්‍රී වනතුරු වුවද කිසිදු මැසිවිල්ලක් නොමැතිව සිදු කරනු ලබන්නේ මෙම වසංගතය මර්දනය කිරීමට එම කාර්ය මණ්ඩලවල සියලුම සේවකයන්ගේ ඇති දැඩි වුවමනාව හා අධිෂ්ඨානය මතය. නමුත් තවදුරටත් මෙම වසංගතය පාලනය කිරීමට රජයට අවශ්‍යතාවයක් නොමැති බව ඔවුන්ට දැනෙමින් පැවතීම රෝග ව්‍යාප්තිය පාලනය සදහා ඔවුන්ගේ මැදිහත්වීම කෙරෙහි සෘජුවම බලපාන බව කිව යුතුය.

කොවිඩ් ව්‍යාප්තියේ පළමු රැල්ලේ දී මෙම කාර්‍යමණ්ඩලය මුහුණ දුන් සියලුම ගැටළු මෙම තෙවන රැල්ලේදී ද එලෙසම නොවිසඳී පවතී. එමෙන්ම නව ගැටළු ගනනාවක්ද උද්ගත වෙමින් පවතී.

1) නියමිත කාලයට නියමිත ප්‍රමාණයට පී.සී.ආර්. පරීක්ෂණ කිරීමට අවශ්‍ය පහසුකම් නොමැති වීම සහ ඒවායේ ප්‍රතිඵල දින ගණනාවක් ප්‍රමාද වීම. (මෙවැනි ප්‍රමාදයක් මගින් ආසාදිතයන් ප්‍රජාව තුළ තවදුරටත් වර්ධනය වීමට අවකාශ සැළසේ. – 2021/05/10 දින වන විට සමහර ප්‍රදේශවල පී.සී.ආර්. පරීක්ෂණ මුළුමනින්ම නවතා ඇති අතර සමහර දිස්ත්‍රික්ක වල සතියකට කල හැකි පරීක්ෂණ ප්‍රමාණය සීමා කර තිබේ. )

2) පී.සී.ආර් මගින් හඳුනාගත් රෝගීන් ප්‍රතිකාර මධ්‍යස්ථාන හෝ රෝහල් ගත කිරීමට සිදුවන ප්‍රමාදය හෝ අවස්ථාව නොමැති වීම නිසා රෝගයට අදාළ රෝග ලක්ෂණ සහිත පුද්ගලයන් සමාජය තුළ නිදැල්ලේ හැසිරීම හා ඔවුන් රෝහල්වලට යොමු කිරීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් නොමැති වීම. (ඒ සම්බන්ධ රාජකාරි කටයුතු දිස්ත්‍රික් මට්ටමින් ඉටු කරනු ලබන්නේ ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥයන් විසිනි. ඔහුගේ සහායට තවත් වෛද්‍යවරුන් ඇතුළු සේවක කණ්ඩායම් යොදවා නැති වීම.) එමෙන්ම දින 10 ක ප්‍රතිකාර කාල සීමාවකින් පසුව නිවසට එවන රෝගීන් නැවතත් රෝග ලක්ෂන පෙන්වූවද ඔවුන්ව යොමු කලහැකි ස්ථානයක් නැත.

3) සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විටින් විට නිකුත් කරනු ලබන සෞඛ්‍ය මාර්ගෝපදේශ වැනි අත්‍යාවශ්‍ය තොරතුරු අදාල මොහොතේදී සන්නිවේදනය නොවීම.
4) දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව ගන්නා වූ තීන්දු තීරණ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු සෞඛ්‍ය බළධාරීන්ගේ තීන්දු තීරණ හා නොගැළපීම නිසා නෛතික කටයුතු වල දී ගැටලු මතුවීම සහ තීන්දු තීරණ ගැනීමේදී ඇතිවන දේශපාලන බලපෑම.

5) ප්‍රභූවරුන් සම්බන්ධ වන උත්සව හා ආගමික උත්සව වලදී ඒවායේ සංවිධායකයන් දේශපාලන අවශ්‍යතා මත සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකිරීම නිසා සාමාන්‍ය පුද්ගලයන් සමග නීතියට අනුව ක්‍රියා කිරීමට යාමේදී ඇතිවන ප්‍රතිරෝධය හේතුවෙන් නිසි පරිදි රාජකාරි කිරීමේ අපහසුතාවය.

6) දෛනිකව තම ප්‍රදේශය තුල සිදුවන සියලු කොවිඩ් මරණ හා ආසාදිතයන් සංඛ්‍යාවන් නිවැරදිව ප්‍රකාශ නොවිම නිසාම ජනතාව තුල රෝගයට පවතින ආකල්ප වෙනස් වීමෙන් ඔවුන් කොවිඩ් පාලන මූලධර්ම වලට අනුගත නොවන තත්වයක් මතුව තිබීම.

7) පෞද්ගලික අංශයේ කර්මාන්ත ශාලා, සංස්ථා හා මණ්ඩලවලට අදාල සේවා ස්ථානවල සේවකයන් ආසාදිතයන් බවට පත් වූ විට ඔවුන් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීමේ දී ගැටළු මතු වීම.

8) ආශ්‍රිතයන් හඹා ගොස් සොයාගෙන ඔවුන්ට පරීක්ෂණ සඳහා යොමු කිරීමටත් අදාල පරිදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත හෝ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකිරීමේ වගකීම මේ වන විට සම්පූර්ණයෙන් පැවරී ඇත්තේ මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් වෙතය. ඔවුන් හැර වෙනත් රාජ්‍ය ආයතන/ ක්ෂේත්‍ර නිලධාරීන් කිසිවකු මේ වනතුරු සහභාගී කරවා නැත. තවද සෞඛ්‍ය සේවකයන් හා ඔවුන්ගේ පවුල්වල පුද්ගලයන් ආසාදිතයන් වූ විට ඔවුන්ව වෙන්කර තැබීම, නිරෝධායනය සදහා වෙනම පහසුකම් අවශ්‍ය වුවද ඒ සඳහා මැදිහත් වීමට නොහැකිවීම.

අමතර වරප්‍රසාද රහිතව සියලුම සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යන අතර තුර අමතර සේවාවන් ලෙස සිදුකරන පී.සී.ආර්. පරීක්ෂණ කටයුතු නිරෝධායන කටයුතු හා රෝගීන් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීම වැනි සියලුම කොවිඩ් මර්ධන කටයුතු වෙනුවෙන් ක්‍රියා කරන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීන් ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයට වෙත මේ වන තුරු කිසිදු අමතර ගෙවීමක් හෝ පහසුකම් සැපයීමක් සිදු කර නොමැත.

මේ සම්බන්ධව වහා අවධානය යොමුකරන ලෙසත් ඉහත ගැටළු සම්බන්ධව ඉක්මනින් මැදිහත්වී සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීන් ඇතුළු රෝග නිවාරණ අංශයේ සමස්ත කාර්‍යමණ්ඩලය තුල විශ්වාසය සහ උනන්දුව ජනිත කිරීම මගින් කොවිඩ් වසංගතය මෙරටින් තුරන් කිරීම වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සපයන ලෙසත් ඉල්ලමු.

ස්තුතියි.

වෛද්‍ය ජයන්ත බණ්ඩාර
ප්‍රධාන ලේකම්.
සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය

පිටපත්
1) වෛද්‍ය එස් එච් මුණසිංහ මහතා, – ගරු ලේකම්- සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය
2) වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා, – ගරු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

26,451 views

9 Comments to “2020 මාර්තු සිට විවේකයක්, නිවාඩුවක්, දිරි දීමනාවක් නෑ.. වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට අසාධ්‍යයි..- දොස්තරලා ලිඛිතව දැනුම් දේ…”

  1. බූරු පුතාණෝ සජියා says:

    ඕව ඔක්කොටෝම බෙදන ගැසිල් කාරයා හැන්දත් අරගෙනම මෑන්ගෙ ස්ථිර පදිංචිය තියෙන රටට ගියා. ඒ නිසා ටිකක් ඉවසපල්ලා

  2. සංජීව says:

    වෛද්‍යවරුන්ගේ මෙම ඉල්ලීම් ඉටු කිරීමට රජය කටයුතු කල යුතුයි. මෙම අවස්ථාවෙ ඇමතිවරු රට ගැන සිතා තම පෞද්ගලික සුඛ විහරනයට වැය කරන රජයෙ මුදල් කොරොනා මර්දනයට යෙදවිය යුතුයි.

  3. Sam Fernando says:

    I wonder what will happen to the country if the situatoon goes similar to the that of India. 800 plus health officials have died so far in Imdia but still the doctors are doing an unprecedented service to save the lives of helpless patients. It is a pathetic situation going to happen in Sri Lanka. God bless Sri Lanka !

  4. MD says:

    ඔය තනතුරු ගන්නකොට අත්සන් කරන ලියකියවිලිවල තියෙන දේවල් නැවත නැවත කියවා බලල රැකියාවට යනඵක පුරුද්දක් කරගන්න.කෙසේ නමුත් රටවැසියාගේ ප්‍රණාමය පුදකරමි.නිදුක් නීරෝගී සුවය පතමි.තෙරුවන් සරණයි!

  5. Mahinda R says:

    අනිත් රටවල සවුක්‍ය සේවය එහෙම තමයි, ඒ මිනිස්සු ජීවිත කැපකිරීමෙන් වැඩ කිය්වන්නෙ නැතුව, තමන්ගෙ ජොබ් එක කරන්න හරියට, පඩිය ලැබෙනවනෙ. ✌️🙏

  6. Weera says:

    කල දුටු කල වල ඉහගන්ඩ එපැයි .ඉන්දියාවේ සියගානක් දොස්තරලම මැරිලා තියනවා .අර රුපවහීනියේ පෙන්නන ඉන්දියාවේ වගේ තත්වයක් තිබ්බනම් මොනා කරයිද ?එහෙනම් ඒ මිනිස්සු අයින් වෙන්න ඕනි කොරෝනා වැඩවලින් .කොච්චර අමාරුද එහෙ තත්වය .ලෝකේ කොහෙවත් මේවගේ උන් නැතුව ඇති .මේක අඩුවෙන්ඩ කලින් කීයක් හරි වැඩි කරගනිල්ල .හමුදාවටගියනම් යුද්ධ කරන්න ඕනි.ඕවට ගියානම් සෞඛ්‍ය තත්වයන් අනුව රාජකාරිය කරන්න ඕනි

    • සදාකාලික බයි වහලා says:

      දොස්තරලට සුව කාර්ය මණ්ඩලවලට දිරි දීමනා පහසුකම් දෙන්න ගියොත් අපෙ හාම්පුතාලට පහසුකම් දෙන්න ඒ උත්තමයන්ට පිටරටවල් වලට ගිහින් බෙහෙත් ගන්න වියද ම් කරන්නෙ උඹලගෙ අම්මල අප්පලගෙ බුදලෙන්ද ? ඒ නිසා දෙනදෙයක් කාලා අපිවගේ ඒ උත්තමයො කියනදෙයක් අහගෙන වැඩකරපියව්

  7. චව් චව් says:

    මේ අන්රයියගේ ජේපී සංගමය. මුන් කරපු දෙයක් නෑ.කරන්න දෙන්නෙ නෑ. සාමාජිකයො නෑ.බල්ලෙක්වත් ගණන් ගන්නෙ නෑ. රට කැත කරගෙන පෝස්ටර් ගහනවා, බොරු ලියුම් ලියනවා, කාගෙ සල්ලිද අප්පා?

  8. SL says:

    “අමතර වරප්‍රසාද රහිතව සියලුම සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යන අතර තුර අමතර සේවාවන් ලෙස සිදුකරන පී.සී.ආර්. පරීක්ෂණ කටයුතු නිරෝධායන කටයුතු හා රෝගීන් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීම වැනි සියලුම කොවිඩ් මර්ධන කටයුතු වෙනුවෙන් ක්‍රියා කරන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීන් ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයට වෙත මේ වන තුරු කිසිදු අමතර ගෙවීමක් හෝ පහසුකම් සැපයීමක් සිදු කර නොමැත”

    කරන සේවයට ගරු කිරීමක් ඇත ,රජය මේ වනතෙක් රාජ්‍ය සේවකයින්ගේ පඩි ගෙවීම් පැහැර හැරීමක් සිදුකර නොමැත ( බදු ආදායම බින්දුවට බැස ඇතත් ) .යුද්ධ කාලේ ත් දැනුත් හමුදා පොලිස් සේවයේ ඉන්න සියලුම දෙනා ලොකු කැපකිරීමක් කරනවා .ඔවුනුත් දිරි දීමනා ඉල්ලුවා නම් කොහොම තියේවිද ??

    රටට ආදරේ නැහැ, තමන්ගේ මඩිය විතරක් හොයන්නේ කියල දේශපාලකයින්ට දෙස් දෙවොල් තියෙන අපිම රට අමාරුවේ වැටිලා ඉන්න වෙලාවක මේවගේ ඉල්ලීම් කිරීම කොතරම් විචාරශිලිද ??

    විලි ලැජ්ජයි………………………..

Main News