හදිසියකදී ගහන්නේ බියුගල් නලාවයි.. ඒ අර්බුදයේ සංකේතයයි..- විමල්

June 29, 2021 at 3:50 pm | lanka C news
හදිසියකදී ගහන්නේ බියුගල් නලාවයි.. ඒ අර්බුදයේ සංකේතයයි..- විමල්

නිර්මාණශීලිත්වයක් සමඟ නව නවෝත්පාදනයට පිවිසීමෙන් මෙරට සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයාට දේශීය නිෂ්පාදනයේ පුළුල් වෙනසක් සිදුකිරීමට හැකියාව ඇතැයි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

ඒ මහතා Zoom තාක්ෂණය ඔස්සේ ලංකා වාණිජ මණ්ඩලය සංවිධානය කළ “ජාතික සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සමුළුව” අමතමින් මෙසේ පැවසීය.

එහිදී විමල් වීරවංශ අමාත්‍යවරයා සිදුකළ කතාව අසංක්ෂිප්තව පහත පළ කර ඇත.

“සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර පිළිබඳ මේ වගේ වැදගත් සාකච්ඡාවක දී අදහස් බෙදාහදා ගන්න ලැබීම ගැන ඉතාම සතුටුයි. ව්‍යාපාර හෝ කර්මාන්තකරණය ගැන දේශනයක් පවත්වන්න මගේ අදහසක් නැහැ. එහෙමත් නැත්නම් මූල්‍යකරණය ගැන. මොකද මෙතැන සහභාගි වෙලා ඉන්න හැම කෙනෙක්ම ඒ පිළිබඳ අවබෝධයක් තියෙන අය. අනෙක් අතට ඒ ඒ විෂය ක්ෂේත්‍රය පිළිබඳ ප්‍රාමාණික දැනුමක් ඇති අය අද දේශන පවත්වනවා. එහෙත් සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදන ක්ෂේත්‍රයෙහි පවත්නා අර්බුදයට ප්‍රතිපත්තිමය වශයෙන් යා යුතු දිශානතිය ගැන මේ රටේ කර්මාන්ත අමාත්‍යවරයා හැටියට මගේ අදහස් කිහිපයක් යොමු කරන්න මම මේක අවස්ථාවක් කරගන්නවා.

අපේ රජය ආර්ථික මූලෝපායික වශයෙන් අපනයන ප්‍රවර්ධන හා ආනයන ආදේශන නිෂ්පාදන ක්‍රමෝපායක් අනුගමනය කරන බව දැන් කාටත් පැහැදිලි කරුණක්. දේශීය කර්මාන්ත නගා සිටුවීම මගින් ආර්ථිකය ශක්තිමත් කිරීමේ දිශානතියට නායකත්වය දීමට අපට ලැබුණු අවස්ථාව තුළ උපරිමයෙන් කර්මාන්ත අමාත්‍යාංශය කටයුතු කරමින් සිටිනවා. මේ ක්ෂේත්‍රයෙහි ලා ආර්ථික විද්‍යාඥයින් පෙන්වාදෙන මුලික අභියෝගය වන්නේ ප්‍රාග්ධන ඌනතාව බව ඔබටත් මටත් රහසක් නොවෙයි. එහෙත් ඒ මත සිපිරිගත නොවී විකල්ප මාර්ග අනුගමනය කරමින් ඉලක්කය කරා යෑමෙහි ක්‍රමයක් අප අනුගමනය කළ යුතුයි. අද මෙම සාකච්ඡාවට භාජනය කර තිබෙන මාතෘකා අතර මූලික කරුණු තුනක් මගේ අවධානයට යොමු වෙනවා. ඉන් පළමුවැන්න ප්‍රාග්ධනය, දෙවැන්න තාක්ෂණය හා තුන්වැන්න නවෝත්පාදනයයි. ඇත්ත වශයෙන්ම දේශීය කර්මාන්ත නගා සිටුවීමේ දී මේ තුන එකිනෙකට සම්බන්ධයි.

21වැනි සියවසේ දැනුම ප්‍රාග්ධනය බවට පත්වීමත් සමඟ දැනුම හා දැනුම කළමනාකරණය අපේ නිෂ්පාදන හා ව්‍යාපාරවල වැදගත් භූමිකාවක් ඉටු කළා. එහෙත් බහුජාතික සමාගම් හා මහා පරිමාණ මාධ්‍යයික මෙහෙයුම් හරහා අපේ සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයා, සන්නාම උගුලේ හිර වුණ පාරිභෝගිකයා අතර අතරමං වුණා. නව්‍ය නිෂ්පාදන උපායමාර්ගවලට අමතරව මේ ආකල්පමය දරිද්‍රතාවටත් අපට පිළිතුරු සොයන්න සිදුවුණා. දැනුම ප්‍රාග්ධනය වන සමාජයක අධ්‍යාත්මික ප්‍රාග්ධනය(Spiritual Capital) ප්‍රධාන මෙවලමක් බවට පරිවර්තනය වන බව අපට ආවේ යුරෝපයෙන් නැතිනම් ඇමරිකාවෙන්. ඒකත් තිරසර සංවර්ධනය වගේ විහිළුවක්. වැවේ මාළු අල්ලන්න ලොකු සිදුරු සහිත දැල් භාවිතා කළ අපේ ගැමියා, ‘ආර්ථික සංවර්ධනයත් පාරිසරික සංරක්ෂණයත් එකම මාර්ගයක ගමන් කර යුතු බව’ කියන තිරසාරභාවය අනාදිමත් කාලයක ඉඳලා දැනගෙන හිටියා. ඒ වගේම බහුජාතික සමාගම්වල CSR නැතිනම් ‘ව්‍යාපාරික සමාජ සත්කාර’ ලෙසින් මුලින්ම ඇවිල්ලා ලාභ උපයන ධනෝපායන මාර්ග විදියට ‘අධ්‍යාත්මික ප්‍රාග්ධනය’ හැඳින්වූවාට අපේ සමාජය අත්දැකීමෙන් එය හැඳිනගෙන තිබුණා. එහෙත් අපි ඒවා නිවැරදි ආර්ථික මොඩලයක භාවිතා කළේ නැහැ.

මේක තාක්ෂණ ක්ෂේත්‍රයෙත් අඩු නැතුව තිබුණා. අපිට තාක්ෂණ උපකරණ ආවාට, අලුත් යන්ත්‍රසූත්‍ර ලැබුණාට ඒකට අපේ පොළොවේ පැළ වුණ ආචාර ධර්ම පද්ධතියක්, දැක්මක් ලැබුණේ නැහැ. නිදර්ශනයක් හැටියට ජංගම දුරකථන භාවිතයේ සිට යානවාහන භාවිතය දක්වාම එහෙමයි. වෙනස් වන ගෝලීය සමාජයක පදනම ශක්තිමත් ව ගෙවල්වල දොර කවුළු විවර කිරීමේ අභියෝගය අපි නිවැරදිව තේරුම් ගත යුතුයි. එය වටහා ගැනීමේ දුබලතාවෙන් පෙළෙන බොහෝදෙනෙකුට Port City අභියෝගයක් වී ඇත්තේ ඒ නිසයි. නූතන ලෝකයේ නව්‍ය තාක්ෂණය අබිමුව ශක්තිමත් දේශීය චින්තනයක, ජාතික ආර්ථික දැක්මක හිටගත්තොත් අපිට මේ අභියෝග සංවර්ධනයේ දිශානතියට යොමු කරන එක පහසු වැඩක්.

නවෝත්පාදනය හා නිර්මාණශීලීත්වය ව්‍යාපාරිකයාට හා නිෂ්පාදකයාට අතිශයින් වැදගත් වන්නේ මෙතැනදී. මේ රාමුව තුළ උත්තර නැතිනම් අලුත් විදියට හිතන්න වීම තවදුරටත් තෝරාගැනීමක් නොවෙයි අනිවාර්යයක්. බලන්න ඔබ මේ මොහොතේ භාවිතා කරන පරිගණකයේ SAVE කරන සංකේතය මොකක්ද කියලා. ඒක FLOPPY DISKETTE එකක්. ඒත් අද පරම්පරාව ‘ෆ්ලොෆි ඩිස්කට්’ එකක් දැකලාවත් නැහැ. පරිගණකය තාක්ෂණ වශයෙන් කොයිතරම් ඉදිරිගාමී වුණත් ඒකෙ නිර්මාණාත්මක දැක්ම යල්පැන ගිය එකක්. ඔබේ වාහනයේ ‘ස්ටියරින් වීල්’ එකේ තියෙන නලාව පිළිබඳ සංකේතය බලන්න. අර ඉස්සර අයිස්ක්‍රීම් බයිසිකල්වල තිබුණ ‘හෝන් එක’ වගේ එකක්. ඇත්තටම ඒ සංකේතය 18 වැනි සියවසේ බියුගල් නලාව. ඒක තමයි අපි දැනගෙන හිටපු හෝන් එක. තාම හදිසියකදී අපි ගහන්නේ 18 වැනි සියවසේ බියුගල් නලාව. මං මේ කියන්නෙ අර්බුදයේ සංකේතකරණයක්. නිර්මාණශීලීත්වයත් එක්ක නවෝත්පාදනයට යෑමෙන් අපට දේශීය නිෂ්පාදනයේ වෙනසක් කරන්න පුළුවන්.

කෙනෙකුට කියන්න පුළුවන් මේවා කියන්න පුළුවන් වුණාට කරන එකේ තමයි අර්බුදය තියෙන්නේ කියලා. ප්‍රතිපත්තිමය රාමුව තුළ දේශීය කර්මාන්තයේ ව්‍යාපාර නගා සිටුවීම සඳහා අපි පසුගිය කාලයේ ආදර්ශයෙන්ම ඊට මුල පිරුවා. කර්මාන්ත අමාත්‍යාංශය නායකත්වය ලබාදුන් MADE IN SRI LANKA ඒකට උදාහරණයක්. හුදෙක් මූල්‍යමය මගපෙන්වීමවලින් ඔබ්බට ගිහින් අපි කළේ අධ්‍යාත්මික ප්‍රාග්ධනයක් වෙළඳපොළට ගෙන ඒම. ඒක දේශීය නිෂ්පාදනය පදනම් කර ගැනීමෙන් ඔබ්බට අරන් ගිහින්, අපි නවොත්පාදනය නිෂ්පාදනයට අරන් ආවා. තාක්ෂණික භාවිතයෙන් අද ලෝක වෙළඳපොළට අරන් ගිහින් අලුත් පරම්පරාව එහි පංගුකාරයෝ කරමින් ඉන්නවා.

අපි ඔබෙන් ඉල්ලන්නේ, ‘අපි පටන් ගත්ත තැනින් ඔබ්බට යන්න’ කියලා. අපේත් රටේත් සම්පූර්ණ සහාය ඔබ සමග යි!”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්,
කර්මාන්ත අමාත්‍යාංශය

104,818 views

27 Comments to “හදිසියකදී ගහන්නේ බියුගල් නලාවයි.. ඒ අර්බුදයේ සංකේතයයි..- විමල්”

  1. Chamila says:

    Great sir. Please do not give up. Please give value to our vote sir. You are the only person who recognizes the responsibility. We respect you sir. Do not get discouraged for others act. They will steel companies you develop, be a good Buddhist give it up and develop another one . Have you heard story of Price Maga in Jathaka stories. Be like him. You can change it. I have never told sir to a politician, I love to say sir to you. Keep doing good work. As responsible citizens in this country we with you sir