පොල් පැළ ලක්ෂ 40ක් සිටුවීම ජනපති අරඹයි…

July 11, 2021 at 2:13 am | lanka C news
පොල් පැළ ලක්ෂ 40ක් සිටුවීම ජනපති අරඹයි…

පොල් පැළ ලක්ෂ 40ක් සිටුවීමේ “දොරින් දොරට කප්රුක” ජාතික වැඩසටහන අද (10) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහභාගීත්වයෙන් හලාවත වැවිලි සමාගමට අයත් දංකොටුව බුජ්ජම්පොළ, වැලිකැටිය වතු යායේ දී ආරම්භ කෙරිණ.

වැඩසටහන මගින් ගෙඩි මිලියන 2800ක් පමණ වන වාර්ෂික පොල් අස්වැන්න ගෙඩි මිලියන 3600ක් දක්වා වර්ධනය කිරීමට අපේක්ෂා කෙරේ. එම ඉලක්කය සපුරා ගැනීමේ අරමුණින් දිවයින පුරා පොල් පැළ ලක්ෂ 40ක් සිටුවීමේ “දොරින් දොරට කප්රුක” ජාතික වැඩසටහන වැවිලි අමාත්‍යාංශය, පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදනය හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශය සහ පොල් වගා කිරීමේ මණ්ඩලය එක්ව සංවිධාන කරයි.

කාලයක් පුරා ශ්‍රී ලංකාවේ නාමය ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉහළින් තබා ගැනීමට තේ, පොල්,රබර් යන අපනයන භෝග සමත් විය. අනාගතයේ දීත් එම අවකාශය දිනා ගනිමින් පොල් වගාව හා ඒ ආශ්‍රිත නිෂ්පාදනයන් ප්‍රවර්ධනයට “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් විශේෂ අවධානයක් යොමු කෙරිණ.

පොල් පැළ මිලියනයක් සමෘද්ධිලාභීන්ටත්, මිලියන දෙකක් සහනාධාර යටතේ සහ මිලියනයක් කැමති ඕනෑම අයෙකුට මිලදී ගෙන වගා කළ හැකි අයුරින්, ඉදිරි වසර තුළ පැළ ලක්ෂ 40ක් සිටුවීමේ ඉලක්කය සපුරා ගැනීමට අපේක්ෂා කෙරේ.

එහි සමාරම්භය සනිටුහන් කරමින් වැලිකැටිය වතුයායේ පොල් පැළයක් රෝපණය කිරීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණ. මැති ඇමතිවරු ද ජනාධිපතිතුමා සමග පොල් පැළ රෝපණයට එක්වූහ. ජාතික වැඩසටහනට සමගාමීව මුළු දිවයිනම ආවරණය වන පරිදි පොල් පැළ සිටුවීම හා පැළ බෙදාදීම සියලු අමාත්‍යාංශ මගින් සිදු කෙරිණ.

කාබනික පොහොර යොදාගනිමින් පුරන් කුඹුරු ආශ්‍රිත “ඇලි වැටි” ක්‍රමයට පොල් වගා කෙරුණු බිමක් ජනාධිපතිතුමා නිරීක්ෂණයට ලක් කළේය.

පොල් වගාවට යොදාගත හැකි කාබනික පොහොර නිෂ්පාදන ක්‍රම, යන්ත්‍රෝපකරණ, පවතින පොල් ඉඩම්වල ඵලදායීතාව ඉහළ නැංවීමේ අරමුණින් කෙරෙන පාංශූ පුනරුත්ථාපන කටයුතු, ජලය යොදන ආකාරය, අතුරු භෝග වගාව, ආදර්ශ බීජ පොල් තවාන, පොල් වගාව ආශ්‍රිත රෝග හා පළිබෝධ සායනය සහ කප්රුක සමිති සාමාජිකයන්ගේ ප්‍රදර්ශන කුටි ජනාධිපතිතුමා විසින් නිරීක්ෂණය කරනු ලැබිණ.

අනතුරුව ලුණුවිල පොල් පර්යේෂණ ආයතනය වෙත පැමිණි ජනාධිපතිතුමා පොල් නිෂ්පාදන සහ පොල් කිරි නිෂ්පාදන දිරිගැන්වීම සඳහා වන උපදේශනාගාරය නැරඹීය. වැඩසටහනට සමගාමීව පොල් පර්යේෂණ ආයතන භූමියේ සංවිධාන කර තිබූ උත්සවයේ දී ප්‍රතිලාභීන් 15 දෙනෙකුට සංකේතාත්මකව සහනාධාර හා කෘෂි උපකරණ බෙදාදීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණ. හලාවත වැවිලි සමාගමේ සභාපති ජූඩ් පෙරේරා මහතා සිය සමාගම 2020 වසරේ උපයාගත් ලාභයෙන් මිලියන 10ක මුදලක් මහ භාණ්ඩාගාරයට බැර කිරීමට ජනාධිපතිතුමා වෙත භාර දෙනු ලැබීය.

අමාත්‍ය රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු, සනත් නිශාන්ත, ප්‍රියංකර ජයරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අශෝක ප්‍රියන්ත, චින්තක මායාදුන්නේ යන මහත්වරු, අමාත්‍යාංශ ලේකම්වරු, රේඛීය ආයතනවල නිලධාරීහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

7,961 views

5 Comments to “පොල් පැළ ලක්ෂ 40ක් සිටුවීම ජනපති අරඹයි…”

  1. ගිජුලිහිණි සංදේශය says:

    පිනා යතත් ඇසුමෙන් රට යහපතට
    විනා ඇසට ගැටුනොත් බැහැ අදහන්ට
    හිනා කුමට රැඟුමකි ඉමහත් නිවට
    ගොනා හැරෙන අත නම් රන් තෙලඹුවට

  2. Pela Madaya says:

    Are there 40 lacks of coconut plants available in the country at present?

  3. මරා says:

    පොල් පැල නෙමෙයි …අන්න ඊලඟ ජනාධිපති 10% බැසිල්ලූ…ඒ කියන්නෙ අපි ගෙනා ගෝටා ෆේල්ද? ලැජ්ජයිනේ..අපි සිරිසේන ෆේල් කිව්වට ඒ අවුරුදු 5ට ඒ පක්ශේ එකෙක් එහෙම කිව්වේ නෑ.. . ගෝටා එක්ක බෑ කියල අපි ගෙනාපු කෙනාට බෑ කියල අපේ පක්ශේ උන් දැන් ප්‍රසිද්ධියේ කියනවා… ගෝටා ඇත්තෙන්ම ෆේල් ද?? කියපල්ල අපිට බෙල්ලෙ වැලදා ගන්න

  4. Jagath says:

    අන්න 69 ලක්ෂෙන් බාගේකට විතර එලොව පොල් දැන් පේනවා ලු? බඩු වල ගණන් අහලා

  5. සෑම මාර්ගයක් දෙපස හැකිතරම් ගස්වැල් වවා සවාභාවික වායුසමණය වහාම සක්‍රීයකරමු..! says:

    පොල් නං හොඳා..! හොඳා…!!
    කොස් පැළටිකයි., දෙල්පැළ ටිකයි..,
    තමයි තවමත් පමා…!

    සැම නගරයකම නගර අලංකරනයට රඡය මැදිහත්වී කොස් දෙල් වැවීම කඩිනම් කළ යුතුයි.!

    සෑම මාර්ගයක් දෙපස හැකිතරම් ගස්වැල් වවා සවාභාවික වායුසමණය වහාම සක්‍රීයකරමු..!

Main News