6% FUTAට රනිල් වෙනුවෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය මතක් වේ.. NUTA රෙදි ගලවයි..

November 1, 2018 at 8:02 am | lanka C news
6% FUTAට රනිල් වෙනුවෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය මතක් වේ.. NUTA රෙදි ගලවයි..

ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ප්‍රජාතන්ත්‍රවාදය කෝ ?

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ (FUTA) වැඩබලන ලේකම් ආචාර්ය අතුලසිරි සමරකෝන් මහතාගේ අත්සනින් නිකුත් වූ පුවත්පත් නිවේදනයක දැක්වුනේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම සඳහා පාර්ලිමේන්තුව වහා කැඳවීමට පියවර ගන්නා ලෙසයි. ඒ සම්බන්ධයෙන් ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමයේ (NUTA ) දැඩි අවධානය යොමු වී ඇත.

අපට ලැබී ඇති තොරතුරු අනුව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය මෙවන් තීරණයක් ගෙන ඇත්තේ සිය සාමාජිකයන්ගේ සහ එම සාමාජිකයන් නියෝජනය කරන විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ ප්‍රමාණවත් අදහස් ලබා ගැනීමකින් තොරවය. මෙය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ විදේශ තානාපති කාර්යාල කිහිපයක අවශ්‍යතාව මත FUTA නිලධාරීන් කිහිප දෙනකු සිදු කළ අත්තනෝමතික ක්‍රියාවකි. රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය ඇත්තේ කොතැනද ?

බැඳුම්කර වංචාව අවස්ථාවේ පාර්ලිමේන්තුව කල් තබන විට නිහඬව සිටි විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයට හිටි අඩියේ ප්‍රජාතන්ත්‍රවාදය මතක් වීම අපගේ විමතියට හේතු වේ. පාර්ලිමේන්තුව සැසි වාරය මෙවර කල් දමා ඇත්තේ දින 11කින්ය. නොවැම්බර් 5 දින අයවැය ඉදිරිපත්කිරීමට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබුණි. නව මුදල් ඇමතිවරයෙක් පත්වී ඇති නිසා නව අයවැයක් සකස්කර ඉදිරිපත් කිරීමට අවශ්‍ය කාලය ලබා ගැනීම පාර්ලිමේන්තුව කල් තැබීමේ අරමුණ බව අප දැනුම්වත් වී ඇත. දින 11කින් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය රැක ගැනීමට බලාපොරොත්තුවන ප්‍රජාතන්ත්‍රවාදය කුමක්ද? තවද වසර ගණනාවකින් මැතිවරණ කල් දමමින් ප්‍රජාතන්ත්‍රවාදය අමු අමුවේ උල්ලංඝනය කරන විට විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයට සිටියේ කොහේදැයි දැන ගැනීමටද අපි කැමැත්තෙමු.

තවද අධ්‍යාපනය වෙනුවෙන් 6% ලබා ගැනීමේ ඉල්ලීම කරලියට ගෙන ඒමට විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයට දැන් සුදුසු කාලය එළඹ ඇති බව පෙනී යන හෙයින් ඒ සඳහා නැවත සක්‍රීයව මැදිහත් වීම සුදුසු බව ද අපගේ විශ්වාසයයි.

රනිල් වික්‍රමසිංහ මහතා සහ බටහිර තානාපති කාර්යාල කිහිපයක දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය නින්දිත අයුරින් යොදා ගැනීම අපගේ බලවත් අප්‍රසාදයට හේතු වේ.

මහාචාර්ය චන්න ජයසුමන
මහ ලේකම්
ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය

123 views