දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් පෞද්ගලික අංශයත් සමග එකතුවෙලා සංවර්ධනය කරනවා…

December 4, 2021 at 5:30 pm | lanka C news
දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් පෞද්ගලික අංශයත් සමග එකතුවෙලා සංවර්ධනය කරනවා…

”මේ රටේ නිවාස ගැටළුව සැබෑ ලෙස විසඳන්න නම් රාජ්‍ය හා පෞද්ගලික අංශය ඒකාබද්ධ ආයෝජනයන් අවශ්‍යයි. විවිධ රජයේ ආයතන සතුව ඇති ඌන උපයෝජනය වන ඉඩම් රටේ පොදු සංවර්ධන කටයුතු සඳහා යොදා ගත යුතුයි” යයි නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප‍්‍රජා පවිත‍්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා පැවසීය.

ඔහු මෙම අදහස් පළ කර සිටයේ, සිය අමාත්‍යාංශය යටතේ ඇති නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය හා අයි.සී.සී. සමාගම විසින් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ හවුල් ආයෝජනයක් ලෙස ඉදිකරනු ලබන ”වැලිසර හයිට්ස් රෙසිඩන්සීස්” මධ්‍යම පාන්තික නිවාස සංකීර්ණයට වැලිසර දී මුල්ගල තැබීමේ අවස්ථාවට එක් වෙමිනි.

සැළසුම් සහගත ඒකාබද්ධ හා තිරසර නාගරික ජනාවාස පිහිටුවීම සහ නාගරික ප‍්‍රජාව භෞතික, සමාජයීය හා ආර්ථික වශයෙන් සවිබල ගැන්වීම සිය මෙහෙවර කොටගත් නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය විසින් ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ හා නාගරික සංවර්ධන අමාත්‍ය ගරු අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙසින් හා මග පෙන්වීම යටතේ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මැතිතුමාගේ සංකල්පයකට අනුව මෙම මධ්‍යම පාන්තික නිවාස ව්‍යාපෘතිය සැලසුම් කොට ඇත.

මෙම ව්‍යාපෘතිය වැලිසර නගරාශ‍්‍රිතව, මහල් 05කින් සමන්විත ගොඩනැගිලි 17 ක පිහිටි නිවාස 408 කින් සමන්විත නිවාස සංකීර්ණයක් ලෙස ඉදිකිරීමට නියමිතය. සියලූ පහසුකම් සහිත කාමර දෙකකින් (02) හා සාලය, මුළුතැන්ගෙය සඳළුතලය, එක් නාන කාමරයකින් සමන්විත වර්ග අඩි 700 කින් යුත් නිවාස 204 ක් ද, කාමර 03 ක්, සාලය, මුළුතැන්ගෙය, සඳළුතලය, නාන කාමර 02 කින් සමන්විත වර්ග අඩි 908 කින් සමන්විත නිවාස 204 ක් වන ලෙස නිවාස ඉදිකිරීමට යෝජිතය. මේ සඳහා රුපියල් බිලියන 05 ක් ආයෝජනය කිරීමට නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය සැළසුම් කොට ඇත.

මැදි ආදායම් ලාහී තරුණ පවුල් ඉලක්ක කොට ඉදිවන ප‍්‍රජා ශාලාවක්, කායවර්ධන මධ්‍යස්ථානයක්, සුපිරි වෙළෙඳසැලක්, පැය 24 පුරා ආරක්ෂාව, ඝන අපද්‍රව්‍ය කළමණාකරණය ඇතුළු අංග සම්පූර්ණ යටිතල පහසුකම්වලින් සමන්විත වන මෙම නිවාස සංකීර්ණය කටුනායක අධිවේගී පිවිසුමට ආසන්නව සොඳුරු පරිසරයක අක්කර 06 පර්චස් 9.9 ක් පුරාවිහිද පවතී. මූලික ගෙවීමකින් පසු දීර්ඝ කාලීන ණය පහසුකමක් ලබා ගැනීම තුලින් මේ නිවාස දරා ගත හැකි මිළකට ලබා ගැනීමට මැදි ආදායම් ලාභී තරුණ පවුල්වලට ඉඩ ඇත.

නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය ලබන වසරේ මෙවැනි තවත් විසල් නිවාස ව්‍යාපෘති 04ක් ක‍්‍රියාත්මක කිරීමට නියමිතය. එනම්, 1. නිට්ටඹුව ඕර්චඞ්වත්ත මධ්‍යම පාන්තික නිවාස ව්‍යාපෘතිය, 2. ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මිශ‍්‍ර සංවර්ධන නිවාස ව්‍යාපෘතිය, 3. කඩුවෙල මිශ‍්‍ර සංවර්ධන නිවාස ව්‍යාපෘතිය, 4. අතුරුගිරිය මධ්‍යම පාන්තික නිවාස ව්‍යාපෘතියයි.

එහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා, ”මම කාලයක් තිස්සේ මෙම අමාත්‍යාංශය භාර ගත්තට පස්සේ කිය කිය හිටපු දෙයක් තමයි මේ රටේ නිවාස ප‍්‍රශ්නයට සැබෑ විසඳුමක් ලබාදීමට නම් අපි රාජ්‍ය පෞද්ගලික ආයෝජනවලට යන්නට ඕනේ බව. මොකද රජයට තනිවම කෙටි කාලයක් තුල රටට අවශ්‍ය නිවාස ප‍්‍රමාණය ඉදි කරන්නට බැහැ. එම කාරණය පිළිඅරගෙන අපේ අමාත්‍යාංශයේ තිබෙන විශාල ආයතනයක් නොවන නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය මෙම ව්‍යාපෘතිය අද ආරම්භ කිරීම ගැන එහි සභාපතිතුමා, අධ්‍යක්ෂක මණ්ඩලය, උපදේශක මණ්ඩලය ඇතුළු කාර්ය මණ්ඩලයට ස්තූතිවන්ත වෙනවා.

අපිට රටක් වශයෙන් ඉදිරියට යනවිට හැම තිස්සෙම අපේ රටේ තිබෙන ප‍්‍රශ්නවලට ප‍්‍රායෝගික විසඳුම් සොයා ගන්නට අවශ්‍යයි. ඒවා සැලසුම් සහගතව කි‍්‍රයාකරන්නට අවශ්‍යයි. එහෙම කරපු රටවල් තමයි ලෝකයේ දියුණු වෙලා තිබෙන්නේ. ආසියාතික රටවල නිවාස ගැටලූ විසඳීම ගැන කතා කරනකොට අපට අමතක කරන්න බැරි රටක් තමයි සිංගප්පූරුව. අපි දන්නවා සිංගප්පූරුව කියලා කියන්නේ ආසියාවේ තිබෙන ඉතාමත් දියුණු රටක්. අපට වඩා කුඩා ජනගහණයක් සිටින ස්වභාවික සම්පත් කිසිවක් නැති නමුත් ලෝකයේ තිබෙන පොහොසත් රටවල් අතරින් එකක්. ලංකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් මිලියන 3800 ක් වගේ වන විට සිංගප්පූරුවේ ඒකපුද්ගල ආදායම ඩොලර් 55000 ඉක්මවනවා. ඒ තරම් විශාල වෙනසක්. නමුත් නිදහස ලබලා අවුරුදු දහයකට පහලවකට පස්සේ 1960 ගණන්වල අපේ රට තිබුණේ සිංගප්පූරුවට වඩා හුඟක් ඉස්සරහින්. ප‍්‍රසිද්ධ කතාවක් තිබෙනවා සිංගප්පූරු අගමැති ලී ක්වාන් යූ මැතිතුමා 1960 ගණන්වල ලංකාවට ඇවිල්ලා සිංගප්පූරුව කොළඹ වගේ කරන්නට ඕනේ කියලා කිව්වාලූ. අද අපිට ලංකාව සිංගප්පූරුව වගේ කරන එක සිහිනයක්. මේ දෙකේ වෙනස තිබුණේ සිංගප්පූරුව හැමදාම තමුන්ගේ ජාතික අවශ්‍යතාවයන් දෙස ඉතාමත් බුද්ධිමත්ව බලලා කාලානුරූපීව සුදුසුතම විසඳුම සොයා ගත්තා. එම විසඳුම රජයේ ප‍්‍රතිපත්තියක් වශයෙන් කි‍්‍රයාත්මක කළාට පස්සේ රජයේ නිලධාරීන් එය ඉතාමත් දක්ෂ විදිහට කි‍්‍රයාත්මක කළා.

සිංගප්පූරුවේ නිවාස ප‍්‍රතිපත්තිය ගැන තමුන්නාන්සේලාට මතක් කළොත්, ඒක අපිට වැදගත් වෙනවා. ලී ක්වාන් යූ අගමැතිතුමා පත්වුණාට පස්සේ, සංවර්ධනය ආරම්භ කරන කොට ඉතාමත්ම දුප්පත් වරාය නගරයක් ව තිබූ සිංගප්පූරුව, පැල්පත්වලින් පිරිලා තිබූ නගරයක්. මේ අය ගත්ත පළවෙනි තීන්දුවක් තමයි සිංගප්පූරුවේ ඒ වෙලාවේ ජීවත්වෙලා හිටපු මිලියන 2.3 ක් පමණ වන ජන ගහණයට නිවාස සාදා දෙන්නට ඕනෑ කියන කාරණය. ඔවුන් ඉලක්කයක් සකස් කර ගත්තා මුලින්ම අඩුම ගණනේ නිවාස මිලියනයක් හදන්නට ඕනේ කියලා. එවෙලේ තිබූ ජනගහණයෙන් 50% ක් පමණ. ඒ අය බැලූවා අපි වසර කිහිපයක් ඇතුළත මේ සියළු දෙනාටම නිවාස සාදන්නට ඕනේ කියලා. 1960 තමයි සිංගප්පූරුවේ නිවාස සංවර්ධන මණ්ඩලය පිහිටුවූවේ. පැල්පත් වලින් පිරිච්ච රටක මහල් නිවාස සෑදීමේ ව්‍යාපෘතිය ඒ අයට බාර උනා. ඒ අය පළවෙනි අවුරුදු දෙක ඉවරවන විට නිවාස 20000 ක් හැදුවා. අපි ආපහු හැරිලා බැලූවොත් අපි ලැජ්ජා වෙන්නට ඕනේ අපි තවමත් ඒ තත්වයට එන්නට බැහැ. පළවෙනි අවුරුදු දෙකේ මහල් නිවාස 20000 ක් හැදුවා කියලා කියන්නේ දවසකට මහල් නිවාස කීයක් හදන්න ඇද්ද? අපි බොරු කයිවාරු ගහන්න අවශ්‍ය නැහැ. රජයන් ගනනාවක් යටතේත් අපිට තවමත් මේ වේගය අත්පත් කරගන්න බැරි වෙලා තියෙනවා.

අපේ නිවාස ඉදිකිරීමේ ස්වර්ණමය යුගය, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිවාස අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් සිටින විට තමයි මේ මහල් නිවාස ඉදිකිරීමේ ස්වර්ණමය යුගය තිබුණේ. ඒ කාලේ අපි අවුරුද්දකට නිවාස දහදහසක් වගේ ප‍්‍රමාණයක් ඉදි කලා. මේ වතාවෙත් අපේ අමාත්‍යාංශය යටතේ නිවාස දස දහසක් හදමින් තිබෙනවා. නමුත් මා සිතනවා එම වේගය ඉතාමත්ම මදි. ඊට වඩා ඉතාමත්ම වේගයෙන් අපි නිවාස සෑදිය යුතුයි මේ රටේ තිබෙන නිවාස අවශ්‍යතාවය සපුරන්න. එය රජයට තනියම කරන්න බැහැ. අපේ රටේ තිබෙනවා මිලියන 6 ක පමණ පවුල් කුටුම්භ. ඒවයේ බොහො දෙනෙකුට හරි හමන් නිවාස නැහැ. ඒ අයට නිවාස ලබාදීමට නම් අපි සැලසුම් සහගත ආකාරයකට එම නිවාස හදන්නට ඕනේ. එදා සිංගප්පූරුව ප‍්‍රතිපත්තිමය තීන්දුවක් ගත්තා සිංගප්පූරුවේ ජීවත්වන, ආදායමක් උපයන සෑම පුද්ගලයෙක්ම තමුන්ගේ ආදායමින් 20% ක් වෙන් කරන්න ඕනේ කියලා තමුන්ගේ නිවස වෙනුවෙන් කියලා. අර්ථසාධක අරමුදල් වගේ දෙයක් සිංගප්පූරුවෙත් තිබුණා. ඒ මුදල නිවාස මිල දී ගන්න පාවිච්චි කරන්න දුන්නා. දුප්පත් මිනිස්සුන්ට මුලින්ම නිවාස කුලියට දුන්නේ. දීලා කිව්වා තමුන්ගේ ආදායම් මට්ටම වැඩිවන විට එම නිවාස මිලදී ගන්න කියලා. අපටත් ඒ වගේ සැලැස්මක් තියෙන්න ඕනේ. රජයෙන් නිවාස නොමිලේ දෙන්න ඕනේ කියන මානසිකත්වයෙන් අපි එළියට එන්නට ඕනේ. අපි යම්කිසි දායකත්වයක් දෙන්න ඕනේ එම නිවාස හදන්න. ඒ නිසා තමයි අපි අද අද තීන්දු කරලා තිබෙන්නේ මැදි ආදායම්ලාභී නිවාස සෑදීම සඳහා විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ කියලා. අපේ රටේ ඉන්නවා විශාල මැදි ආදායම් ලබන ජන කොටසක්. විශේෂයෙන්ම තරුණ පරපුර රස්සාවකට ගිහින් ජීවිතේ ආරම්භ කළහම ඔහුට නිවාස සිහිනය ඉටු කර ගන්න විශාල කාලයක් යනවා. ඒ අයට නිවාස ලබදෙන්නට නම්, අපි එක පැත්තකින් මේ නිවාස සෑදීම සඳහා මුදල් හොයා ගන්නේ කොහෙන්ද කියන කාරණය කල්පනා කළ යුතුයි. ඊ ළඟට ඒ අයට එම නිවාස පහසු මිලට ලබාගන්න පුළුවන් ක‍්‍රමවේදයක් හදලා දෙන්නට ඕනේ.

අඩු ආදායම්ලාභීන් සඳහා අපි නිවාස 7000 ක විතර වැඩ ආරම්භ කර තිබෙනවා. අපි 2021 අයවැයේදී තීන්දුවක් ගත්තා මහල් නිවාස 5000 ක් හදනවා කියලා මැදි ආදායම්ලාභීන් සඳහා. නමුත් 5000 ම කළත් මේ රටේ මැඩි ආදායම් ලාභී නිවාස අවශ්‍යතාවයෙන් ඉතාමත් කුඩාම ප‍්‍රමාණයක් තමයි රජයට සපුරන්න පුළුවන්.

එහෙම නම් මේ නිවාස හදන්න තිබෙන අනෙක් ක‍්‍රමය තමයි පෞද්ගලික අංශය අපි සම්බන්ධ කර ගන්නට ඕනේ. මොකද අපේ රටේ රජය සතු ඉඩම් හැමතැනකම විසිරිලා තිබෙනවා. සෑම ප‍්‍රාදේශීය සභාවකම, නගර සභාවකම තිබෙනවා හොඳ නිවාස ව්‍යාපෘති කරන්න පුළුවන් ඉඩම්. සෑම ප‍්‍රදේශයකම රජයේ විවිධ ආයතනවලට අයත් හොඳ ව්‍යාපෘති කරන්න පුළුවන් ඉඩම් තිබෙනවා. ඒවයේ කවදා හරි ආණ්ඩුවෙන් ඇවිත් ගෙවල් හදනකම් බලන් හිටියොත් තව අවුරුද දහයක් පහළවක් ගතවේවි අපට නිවාස අවශ්‍යතාව සපුරාලන්නට. නමුත් අපට පුළුවන් නම් පුද්ගලික අංශයත් සමග එකතු වෙලා රජයේ ඉඩම ඒ අයට දීලා රජයේ ආයෝජනය විදිහට, ඔයාලා මුදල් වියදම්කරලා මේකේ නිවාස ව්‍යාපෘතියක් හදන්න කියල කිව්වොත් ඒක බොහොම පහසුවෙන් කරන්නට පුළුවන්. අද අපි මේ ආරම්භ කරන ව්‍යාපෘතිය එවැනි ව්‍යාපෘතියක්. මෙතනදී රජය ඉඩම ලබාදෙනවා. අයි.සී.සී. සමාගම මුදල් ගෙනෙනවා. දෙගොල්ලෝ එකතු වෙලා මේ නිවාස සාදලා මේ නිවාස අලෙවි කරනවා සාධාරණ මිලකට. අන්න ඒක අපට මුළු රටපුරාම කරන්න පුළුවන් නම් අපිට ඉතාමත් ඉක්මනට මේ නිවාස ප‍්‍රශ්නය විසඳන්න පුළුවන්. ඒ නිසා අපි රජයේ නිලධාරීන්ට කියනවා කරුණාකරලා මෙන්න මේ ප‍්‍රායෝගික අවශ්‍යතාවය දිහා බලන්න, හැම තිස්සේම ගෙවල් හදන්න මහා භාණ්ඩාගාරයේ මුදල් එනකම් බලාගෙන ඉන්න එපා.

අපි දැන් ප‍්‍රතිපත්තියක් වශයෙන් කියලා තිබෙනවා රාජ්‍ය පුද්ගලික ආයෝජනයකට යන්න කියලා. මෙවර මුදල් ඇමතිතුමා අයවැයේදී පවා ඒක කිව්වා පුළුවන් තරම් පුද්ගලික ආයෝජන ගේන්න කියලා. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී නාගරික සංවර්ධන අධිකාරියත් පුළුවන්තරම් රාජ්‍ය පෞද්ගලික ආයෝජනවලට යන්නට ඕනේ කියලා.

අපේ රටේ අනෙක් සංවර්ධන කටයුතු ගැන කතා කිරීමේදී, මුදල් ඇමතිතුමා මෙවර අයවැයේදී කිව්වා දුම්රිය දෙපාර්තමේන්තුවට සපයපු ඉඩම් මේ රටේ විශාල ඉඩම් ප‍්‍රමාසහගතව තිබෙනවා ඒවා සංවර්ධන කටයුතු වලට යොදා ගන්න කියලා. ලෝකයේ අනික් රටවල එහෙමයි කරන්නේ. හැම නගරයකම තිබෙන හොඳ ඉඩම් තිබෙන්නේ දුම්රිය දෙපාර්තමේන්තුවට. ඉංග‍්‍රීසි ආණ්ඩුව කාලේ අනාගතය ගැන හිතලා දුම්රිය දෙපාර්තමේන්තුවට විශාල ඉඩම් ප‍්‍රමාණයක් වෙන් කළා. සමහර වානිජ වටිනාකමකින් යුත් ඉඩම් අයාලේ යන, අපතේ යන තත්වයට පත්වෙලා, කිසිම ප‍්‍රයෝජනයක් ගන්නේ නැතිව තිබෙනවා. භූ දර්ශන අලංකරණ කටයුතු සඳහා ඉල්ලූවත් දෙන්නේ නැහැ. සමහර නිලධරි මේවා මැරුණහම අරගෙන යන්න වගේ තියාගෙන ඉන්නවා කිසිම සංවර්ධන කටයුත්තකට ඉඩ නොදී. නිලධාරීන් පැන්ෂන් යනවා. ඉඩම් ටික එහෙමම තිබෙනවා. මෙවර මුදල් ඇමතිතුමා අයවැය ප‍්‍රකාශයේම කිව්වා දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් පෞද්ගලික අංශයත් සමග එකතුවෙලා සංවර්ධනය කරන්න කියලා. මා සිතනවා දැන්වත් අමාත්‍යාංශවල ඉන්න නිලධාරීන් මේ රාජ්‍ය ප‍්‍රතිපත්තිය දෙස බලලා මෙය කරන්න පටන් ගනීවි කියලා.

මොකද අපේ රටේ දුම්රිය ස්ථාන වටා ඇති ඉඩම් පෞද්ගලික අංශය සමග එකතුවෙලා සංවර්ධනය කළොත් වාණිජමය වටිනාකමක් තිබෙන විශාල ව්‍යාපෘති රටට ලැබේවි. නාගරික සංවර්ධන අධිකාරියට පුළුවන් ඒවා සැලසුම් නිර්මාණ කරන්න උදව් කරන්න. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කරන නීතිමය කටයුතුවලට අපට උදව් කරන්න පුළුවන්. හැබැයි ඉඩම අපට අයිති නැහැ. ඒ අය ඉඩම බදාගෙන ඉන්නවා නම් අපට එය කරන්න බැහැ. බලන්න බේරේ වැව රවුම, මා දන්නා විදිහට දැන් අවුරුදු දහයකට එහා සිට අපි කතා කරනවා මේ බේරේ වැව රවුම සංවර්ධනය කිරීම ගැන. බේරේ වැව වටේ රජයේ ඉඩම් කට්ටි 48 ක් අපි හඳුනාගෙන තිබෙනවා. ඒ ඉඩම්වලින් වැඩි ප‍්‍රමාණයක් තිබෙන්නේ රජයේ ආයතන සතුව. අපි ඒ ඉඩම්වලට ආයෝජකයෝ ගේන්න කිවවහම ඒ අය කියනවා, නෑ නෑ වෙන කාටවත් කරන්න බැහැ අපි ආයෝජකයෙක් හොයා ගන්නම් කියලා. හැබැයි ඒ කියන අමාත්‍යාංශවලට, ආයතනවලට ආයෝජකයන් සොයා ගැනීමේ හැකියාවක් නැහැ. ඉඩම් සංවර්ධනය ඔවුන්ගේ විශය නොවෙයි. ඒවා සම්පූර්ණයෙන් වෙනත් ක්ෂෙත‍්‍රවලට වගකියන ආයතන. ඒ අය දශක ගණනාවක් තිස්සේ එම ඉඩම් බදාගෙන ඉන්නවා දේශීය හෝ විදේශීය ආයෝජකයෙකුට ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා අපට මේ රට සංවර්ධනය කරන්න විශාල සීමාවන් පැනවිලා තිබෙනවා. ඒ නිසා අපි මේ මානසිකත්වයෙන් එළියට එන්නට ඕනේ. ලෝකයේ ඕනෑම දියුණු නගරයට ගිහින් බලන්න ඔය විශාල ගොඩනැගිලි හදල තියෙන්නෙ රජයෙන්ද කියලා. හැබැයි ඒ ඉඩම් වල බදු අයිතිය රජයට තිබෙනවා. රටට ඒ අයෝජන නිසා ප‍්‍රතිලාබ ලැබෙනවා.

ඔබ දන්නවා අද අපේ රටේ මුදල් සංචිත හිඳිලා විශාල ඩොලර් අර්බුදයක් ඇවිත් තිබෙනවා. මේකෙන් එළියට එන්නට නම් අපි විදේශ ආයෝජන ගේන්න ඕනේ. විදේශ ආයෝජනවලට විරුද්ධව කතා කර කර ඉඳලා අපේ රට කවදාවත් සංවර්ධනය කරන්න බැහැ. මම උදාහරණයක් විදිහට ගත්ත සිංගප්පූරුව බලන්න, අපි සිංගප්පූරුවට ගියහම එහි තිබෙන ලස්සනම වෙළෙඳ වීදිය වන ඕචාඞ් වීදියට හැම කෙනෙක්ම යනවා. එම වීදිය හැදුවේ කව්ද? එම වීදිය හැදුවේ ඒ මුල් කාලයේ සිංගප්පූරුවට ආපු විදේශීය ආයෝජකයෝ. සිංගප්පූරු රජයේ නාගරික සංවර්ධන අධිකාරිය පාර සැලසුම් කරලා හදලා දුන්නා. අනික් යටිතල පහසුකම් දුන්නා. නමුත් ඉඩම්වල ආයෝජනය කලේ විදේශීය ආයෝජකයෝ. එයින් අද ප‍්‍රයෝජන ගන්නේ කවුද? සිංගප්පූරු රජය. ඒවයේ බදු ආදායම එන්නේ සිංගප්පූරු රජයට. ඒවයේ වැඩකරන්නේ, ව්‍යාපාර කරන්නේ සිංගප්පූරු ජාතිකයින්. පිටරට ඉඳන් එන ආයෝජකයෝ ව්‍යාපාර කරන්නේ එම ගොඩනැගිලිවල. ඒ සාප්පු සංකීර්ණ වලට එන සංචාරකයෝ. ආදායම උපයන්නෙ සිංගප්පුරුවට. අපි එය කරන්නේ නැතිව අපේ සම්පත් අපි රැක ගනිමු කියන සංකල්පය වැරදියට අර්ථ නිරූපණය කරලා අපිත් ආයෝජන කරන්නේ නැතිව, වෙනත් ආයෝජනවලටත් විරුද්ද වෙවී මෙහෙම හිටියොත් තව අවුරුදු තිහකිනුත් රට මේ විදිහටම තියෙයි කවදා හරි අපේ රට සංවර්ධනය කරනවා කියලා.

අපි ලෝකයෙන් ඉගෙන ගන්න ඕනේ. ලෝකයේ අනෙක් හැම රටක්ම සංවර්ධනය උනේ විදේශ ආයෝජන ගෙනල්ලා, පෞද්ගලික අංශයට ඉඩ දීලා රජය ඔවුන් හා එකට එකතුවෙලා අත්වැල් බැඳගෙන සංවර්ධනය කිරීමෙන් පමණයි. ඒ නිසා අපේ රටත් එම කාර්යය කරන්න ඕනේ. අපේ අමාත්‍යාංශය හරහාත් අපි පුළුවන් තරම් උත්සාහ කරනවා පෞද්ගලික අංශය සම්බන්ධ කරගන්න අපේ වැඩවලට. දේශීය මෙන්ම විදේශීය ආයතන සමග සම්බන්ධ වන්නට. එය වැරදියට අර්ථ නිරූපණය කරන්න යම් යම් අය උත්සාහ කරන විට එයට රැවටෙන්න එපා” යැයි පැවසීය.

මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ සභාපති සම්පත් සුභසිංහආරච්චි, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති විශ‍්‍රාමික මේජර් ජෙනරාල් උදය නානායක්කාර, වත්තල ප‍්‍රාදේශීය සභාවේ සභාපති ආර්. ඒ. ත්‍යාගරත්නයන මහත්වරු ද නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු මහජන නියෝජිතයින් මෙම අවස්ථාවට එක්වූහ.

– ඩබ්. ඒ. උදිත පුෂ්ප කුමාර

11,292 views

13 Comments to “දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් පෞද්ගලික අංශයත් සමග එකතුවෙලා සංවර්ධනය කරනවා…”

  1. Opa-dupa says:

    විපක්ෂයේ ඉන්න කොට මේවා වැරදි වගේ පෙනුනට බලය හම්බ උනාම ඉඩම් විකුණන එක හොද වැඩක් වගේ තමයි පේන්නේ .

  2. ex hadaya says:

    කට විතරයි …වැඩ නැති සුදු කරපටි හොරා…..

  3. gunaya says:

    That can be done anybody. Why we pay for these burgers

Main News