‘ඔබ මෙහි භාරකරුවා මිස අයිතිකරුවා නොවේ’… මිහිඳු හිමියන් දේවානම්පියතිස්ස රජුට කිවුවා..

January 20, 2022 at 4:40 pm | lanka C news
‘ඔබ මෙහි භාරකරුවා මිස අයිතිකරුවා නොවේ’… මිහිඳු හිමියන් දේවානම්පියතිස්ස රජුට කිවුවා..

සොබාදහම සමඟ කුළුපග, අන්‍යෝන්‍ය බැඳීමකින් යුත් ඥාතීත්වයක් සහිතව කර්මාන්තකරුවාට තම නිෂ්පාදන කාර්යය සිදු කිරීමට හැකි නම් එය සුවිශාල ජයග්‍රහණයක් බවත් මානව සංහතියේත් අනෙකුත් ජීවීන්ගේත් ඉදිරි පැවැත්ම වෙනුවෙන් අපට ලබාදිය හැකි උපරිම අනුග්‍රාහකත්වය එය බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පෙන්වාදෙයි.

බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී පැවති ‘ජාතික පිවිතුරු නිෂ්පාදන සම්මාන 2021’ උළෙලට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් අදහස් දැක් වූ ඒ මහතා එසේ පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය.

“එදා අපේ අම්මලා, ආත්තම්මලා රාත්‍රියේ නින්දට ගියේ ‘මා මෙන්ම සියලු සත්වයෝ නිදුක් වෙත්වා!නිරෝගී වෙත්වා! සුවපත් වෙත්වා!’ යන ප්‍රාර්ථනාව සමඟයි. එහෙම හිතන ධර්මයකින් පෝෂණය වූ සංස්කෘතියක ජීවත් වන අපට පරිසරයත් සමග මෘදු ලෙස ගනුදෙනු කිරීම ඓතිහාසික උරුමයක් ලෙස ලැබී තිබෙනවා. මිහිඳු මහරහතන්වහන්සේ එදා දේවානම්පියතිස්ස රජතුමන්ට ‘මහරජ ඔබ මෙහි භාරකරුවා මිස අයිතිකරුවා නොවේ’ යනුවෙන් පැවසුවේ එම ධර්මයේ සාරය මත පදනම්ව. අපි හැමෝම මේ සොබාදහම සමඟ ගනුදෙනු කරන්නේ ඉතා කෙටි කාලයයි. තව අනන්ත කාලයක් මේ සොබාදහම සමඟ ගනුදෙනු කරන්න මනුෂ්‍යයන් සහ සත්වයින් මේ මිහිතලයේ ජීවත් වෙනවා.

‘පරිසරයේ වටිනාකම’

අපේ මුතුන්මිත්තන් අපට ජීවත් විය හැකි පාරිසරික වාතාවරණයක් ඇති කර දීම නිසා තමයි අපට මේ විදිහට හෝ ජීවත් වීමට පුළුවන් වෙලා තිබෙන්නේ. සොබාදහම නොතකා ඉදිරියට යන කිසිවකුට වැඩිදුර යාමට බැහැ. ඒ නිසා ‘මා මෙන්ම සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නිරෝගී වෙත්වා! සුවපත් වෙත්වා!’ යන ප්‍රාර්ථනාව සමග රෑට නින්දට ගිය අපට සොබාදහමේ තිබෙන අගය සහ වටිනාකම, සෑම ප්‍රාණියකුගේම තිබෙන වටිනාකම, ගහකොළ ඇතුළු පරිසරයේ තිබෙන වටිනාකම අමුතුවෙන් අවධාරණය කළ යුතු දෙයක් නොවෙයි, කියලයි මා විශ්වාස කරන්නේ.

කොහොම වුණත් ලෝකය වේගයෙන් ‘දියුණුව’ කියන සංකල්පය බදාවැළඳ ගන්නා විට සොබාදහම කෙරෙහි තිබෙන තැකීම සහ අවධානය ප්‍රශස්ත ලෙස ආරක්ෂා කර ගැනීමට පුළුවන් වුණේ නැහැ. ඒ නිසා මිහිතලයේ උෂ්ණත්වය ඉහළ යාම, වර්ෂාපතනයේ රටාව වෙනස් වීම, ගංවතුර පැමිණෙන රටාව වෙනස් වීම ආදියෙන් සොබාදහම දැන් අපට ප්‍රතික්‍රියා දැක්වීමට පටන් අරන් තිබෙනවා, අනතුරු ඇඟවීම ආරම්භ කරලා තිබෙනවා. අපි ඒ අනතුරු ඇඟවීමේ නාදයටවත් සංවේදී නොවුණොත් ‘අනාගත පරපුරේ ඉරණම පරදුවට තබන්න’ අපට ලෝකයක්, මානව සංහතියක්, ජෛව පද්ධතියක් ලෙස ඇත්තේ ඉතා කෙටි කාලයයි.

‘සොබාදහම සමඟ ඥාතීත්වයකින්…’

ලෝකයේ සමහර රටවල, ඇතැම් නගර තිබෙනවා බලවත් ලෙස වායු දූෂණයෙන් බැට කන. ඒ වගේම ඇතැම් නගර තිබෙනවා වෙනත් පරිසර හානි නිසා පීඩාවට පත්වූ. ඒ රටවල සමාජයන් අද ඒ නගර පැවැති තත්ත්වයට පත් කරන්න විශාල පිරිවැයක්, වෙහෙසක් දරමින් සිටිනවා. සොබාදහම සමග කුළුපග, මිත්‍රශීලී, අන්‍යෝන්‍ය බැඳීමකින් යුක්ත ඥාතීත්වයකින් අපේ නිෂ්පාදන කාර්ය, අපේ ජීවන රටාව, අපේ පැවැත්ම සකසා ගන්න පුළුවන් නම් එය තමයි ජයග්‍රහණය. මානව සංහතියේත් අනෙකුත් ජීවීන්ගේත් ඉදිරි පැවැත්ම වෙනුවෙන් අපට ලබාදිය හැකි උපරිම අනුග්‍රාහකත්වය ද එයයි. අතීතයට අපි ණය නම්, වර්තමානය, අනාගතයට ණයයි. හැබැයි අනාගතයට සිද්ධ වුණොත් ‘වර්තමානය තමයි අපිව විනාශ කළේ’ කියා හිතන්න, සාපයක් මිසක් අපට එහෙම ණයක් ඉතිරි වන්නේ නැහැ. අපේ රටත් අද ක්‍රමානුකූලව කර්මාන්තකරණයෙන් ඉදිරියට යමින් තිබෙනවා. එසේම ‘අපේ රටේ කර්මාන්තකරුවා පරිසරය සමග තිබෙන ගනුදෙනුව මිත්‍රශීලීව, සාධාරණව සිදු කරන්නේ කෙසේද?’ යන සාකච්ඡාව බලගැන්වී ඇති වෙලාවක, ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානය, පිවිතුරු නිෂ්පාදන සහ අදාළ කර්මාන්තකරුවන් ඇගයීම සඳහා මෙවැනි උද්යෝගීමත් උළෙලක් සංවිධානය කිරීම ඉතා වැදගත් අවශ්‍යතාවක් සම්පූර්ණ කිරීමක් ලෙස මා විශ්වාස කරනවා.

‘වැදගත් නිර්ණායක ආරක්ෂා කිරීම’

යම් නිෂ්පාදනයක් ජාත්‍යන්තර වෙළෙඳපොළ ජයගැනීමේ දී එම නිෂ්පාදනය සිදුකරන කර්මාන්ත ශාලාවේ ශ්‍රමිකයන්ට තිබෙන වාතාවරණය, හොඳ ද, නරක ද, කියා සොයා බලනවා. ඒ අනුව එම නිෂ්පාදනයට ඇණවුම් ලබා දෙනවා ද, නැද්ද, කියා තීරණය කරනවා. එසේම වෙනත් රටවලින් ඇණවුමක් ලබා දීමේදී එම නිෂ්පාදනය සිදු කරන කර්මාන්ත ශාලාව පරිසරයට අවම හානියක් සිදු වන ලෙස ද පවත්වාගෙන යන්නේ? කියන එකත් විමසා බලනවා. එසේ ශ්‍රමිකයාගේ වේතනය හා අයිතිවාසිකම් පිළිබඳව පවා හිතන ලෝකයක, අපි කැමති වුණත් නැතත් අපට බල කෙරෙනවා එම වැදගත් නිර්ණායක ආරක්ෂා කර ගනිමින් ඉදිරියට යාමට.

‘පරිසරයට හානි කිරීමට කිසිවකුට බැහැ’

මෙම තියුණු නිර්ණායක එකවිට අප ඉදිරියේ පණ ගැන්වුණාම කර්මාන්තකරුවන් විදිහට කෙටිකාලීන දුෂ්කරතාවලට අපට මුහුණදීමට සිදු වෙන්න පුළුවන්. පරිසර අමාත්‍යාංශය පරිසරය පිළිබඳව බොහෝ හිතවාදීව සිතා වරින්වර නිකුත් කරන ගැසට් නිවේදන මගින් ප්‍රකාශයට පත්කරන තීරණ පිළිබඳව ඇතැම් විට කර්මාන්තකරුවන්ගේ දුක්ගැනවිලි කර්මාන්ත අමාත්‍යාංශයට ඉදිරිපත් වෙනවා. හැබැයි සාධාරණව විමසා බැලීමේදී පෙනෙනවා, අපි මේ මොහොතේදී නොවුණත් ඊළඟ මොහොතේදී හෝ පරිසරය වෙනුවෙන් ඒ යුතුකම ඉටු කළ යුතුයි, කියා. අපි පරිසරයේ ‘පුංචි තිතක්’ පමණයි. සමහර විට එය අනාගතයේදී මැකී යන, නොපෙනී යන තරමේ ‘තිතක්’ විය හැකියි. ඒ නිසා පරිසරයට හානි කරන්න කුරාකුහුඹුවකුට තිබෙන අයිතියවත් අපට නැහැ. මිනිසා සෙසු සත්වයන්ට වඩා දියුණු නම්, පරිසරයට සෙසු සත්වයන් නොකරන හානියක් කරන්න මිනිසාට කිසිදු ආකාරයක යුතුකමක් නැහැ.

අපේ රට ජෛව විවිධත්වයෙන් අනූන, වර්ෂාපතනය නිසි කලට ලැබෙන, නොඉඳුල් වැසි වනාන්තරයක් තිබෙන, රට වටේට මහ සාගරයක් තිබෙන රටක්. එහෙම රටක අද සාගර පත්ලේ තිබෙන මහා අපද්‍රව්‍ය ප්‍රමාණය, අපේ අවමානයට හේතුවක්.

පාකිස්තානයේ ඉම්රාන් ඛාන් අගමැතිවරයාට හිතෙනවානම්, ‘ශ්‍රී ලාංකික ඉංජිනේරුවා සමූහ වශයෙන් එකතු වෙලා ඝාතනය කිරීම පාකිස්ථානයේ ගෞරවයට හා අභිමානයට කැළලක්’ කියා, ශ්‍රී ලංකාවේ ගෞරවයට හා අභිමානයට ඊටත් වඩා කැළලක් මහා සාගරයට අප හෙළන මහා කැළිකසළ ප්‍රමාණය. 2000 වසරෙන් පසු උපත ලැබූ පිරිස මේ කාරණා පිළිබඳව ඉතා සංවේදීයි. අපි ඔවුනට අපේ ගෞරවය පුද කළ යුතුයි. නමුත් ඊට පෙර පරම්පරාව මේ පිළිබඳව වැඩි තැකීමක් නැහැ. අපි කොතරම් සමාජ, ආර්ථික දර්ශක අතින් ඉහළට ගියත් පරිගණක සාක්ෂරතාව ඇතුළු කවර සාක්ෂරතාවකින් ඉහළ ගියත්, අපි සිටින්නේ ‘පාරිසරික සාක්ෂරතාවයෙන්’ පහළ නම් අපි ගිහිල්ලා තිබෙන්නේ ඉහළට නොවෙයි.

‘පරිසරය සමඟ මිත්‍රශීලී සබඳතාවක්’

අපේ කර්මාන්තකරුවන් ඒ පිළිබඳ ඉතා හොඳින් සිතන පිරිසක්, දැනට සිදුකරන අඩුපාඩුවක් ඇතොත් එය නිවැරදි කර ගැනීමේ අධිෂ්ඨානයෙන් සිටින පිරිසක්. ඒ නිසා අපි හිතනවා, මෙම උළෙලේදී සිදුකරන ඇගයීම, පරිසරයට ඉතා සමීපව කටයුතු කිරීමේ හැඟීම ඔවුන් තුළ බලගැන්වීමට හේතුවක් වීම නිසැකයි, කියා. ඒ නිසා කර්මාන්ත අමාත්‍යවරයා ලෙස මා ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානයට අපේ රටේ කර්මාන්තකරුවා පරිසරය සමග මිත්‍රශීලී සබඳතාවකට පොළඹවාලමින් ඒ වෙනුවෙන් ඔහුව ඇගයීමට පාත්‍ර කිරීම පිළිබඳව මගේ කෘතවේදීත්වය පළ කරනවා. ඒ වගේම මෙහිදී පරිසරයට ආදරයෙන් තමන්ගේ කර්මාන්තය ඉදිරියට ගෙන යාමේ වටිනාකම හේතුවෙන් ඇගයීමට පාත්‍ර වන සියලුම සම්මානලාභීන් ළට මගේ ශීර්ෂ ප්‍රණාමය පුද කරනවා.”

මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්, විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක, පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ, ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානයේ සභාපති ගාමිණී ගුණසේකර යන මහත්වරු ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසක් එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්,
කර්මාන්ත අමාත්‍යාංශය

16,675 views

3 Comments to “‘ඔබ මෙහි භාරකරුවා මිස අයිතිකරුවා නොවේ’… මිහිඳු හිමියන් දේවානම්පියතිස්ස රජුට කිවුවා..”

  1. Truth says:

    Sri Lanka belong to rajapaksha family not any other.

  2. නිගන්ඨයා...........! says:

    මිහිඳු නිඝන්ඨයාගේ ලබ්බ හෙළයන්ට අනවශ්‍යයි!

  3. Kalu Albot says:

    Mihindu Haamuduruwo edaa ehema keewaat ada samahara haamururuwaru niyanne Hitler welaa wunath kamak nehe kiyalane! Eeye peredaa Walakajja gahapu “Gaayikaawath” keewa ne ” Minee maralaa hari Janaadhiathi kama rekagaththaa nam hondayi kiyalaa!!

Main News