Exclusive : විජයකලා මැඩම් මාව ආරක්‍ෂා කළා – විද්‍යා දුෂණයේ ප‍්‍රධාන සැකකරැ ස්විස් කුමාර් සාක්ෂි දෙයි..

August 29, 2017 at 10:06 pm | lanka C news
Exclusive : විජයකලා මැඩම් මාව ආරක්‍ෂා කළා – විද්‍යා දුෂණයේ ප‍්‍රධාන සැකකරැ ස්විස් කුමාර් සාක්ෂි දෙයි..

වෙලනෙයි ප්‍රදේශයේදී විදුලි කණුවක ගැට ගසා මිනිස්සු මට ගහන අවස්ථාවේ විජයකලා මැඩම් මාව ආරක්ෂා කළා යනුවෙන් ශිවලෝගනාදන් විද්‍යා ඝාතනයේ ප්‍රධාන සැකකරු වන මහාලිංගම් ශෂකුමාර් නොහොත් ස්විස් කුමාර් අද(29) යාපනය මහාධිකරණයේදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ සාක්ෂි ලබාදෙනු ලැබීය.

වවුනියාව මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂී මහේන්ද්‍රන් මහතාගේ සභාපතිත්වයෙන් යුතුව යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලංචේලියන් මහතා හා ත්‍රිකුණාමලය මහාධිකරණ විනිසුරු අන්නාලිංගම් ප්‍රේමශංකර් මහතා ඉදිරියේදී නඩුවට අදාළ සාක්ෂි විමර්ශනය පැවැත්වු අවස්ථාවේදි විත්තිකරු එලෙස පැවසුවේය.

නඩු විභාගයට අදාළ පැමිණිළි පාර්ශවයේ හා රජයේ සාක්ෂි ලබාදීම අවසන්ව ඇති අතර, නඩුවට අදාළව විත්තිකරුවන්ගේ සාක්ෂි විමසීම ඊයේ(28) දිනයේ සිට ආරමිභ කරනු ලැබීය.

මෙහිදී ස්විස් කුමාර් සාක්ෂි ලබාදෙමින් මෙසේ කියා සිටියේය.

” කයිටිස් පොලිසිය මගේ මල්ලි අත්අඩංගුවට ගෙන යාපනයට අරගෙන ගියා.මම මල්ලි බලන්න යන අතරමගදි වේලනෙයි ප්‍රදේශයේදී මිනිස්සු අල්ලගෙන මාව ලයිටි කණුවක ගැට ගහලා පහරදුන්නා.ඒ වෙලාවේ විජයකලා මැඩම් එතනට ආවා.ඇවිල්ලා ඔයා සශිගේ අයියාද කියලා ඇහුවා.එහෙම අහලා එතන හිටපු මිනිස්සුන්ට කිව්වා මෙයාට පහරදෙන්න එපා කියලා.

එහෙම කියලා විජයකලා මැඩමි පැය දෙකක් විතර එතන හිටියා.පස්සේ මගේ ‍නෝනයි, මගේ අම්මයි එතනට ඇවිල්ලා මිනිස්සුන්ට කිව්වා මාව බේරන්න කියලා.”

කයිට්ස් අධිකරණය පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝග කරනු ලැබු‍වේ විද්‍යා ඝාතන සැකකරුවන්ට පළා යාමට ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේශ්වරන් මහත්මිය සහයෝගය පළකොට ඇත්දැයි යන්න සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසයි.

ස්විස් කුමාර් නමැත්තාට පළායාමට අවසර ලබාදීමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාගේ නීතිඥයින් ඉදිරිපත් කළ කරුණු දැක්වීම් මත විජයකලා මහේශ්වරන් මහත්මියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගියදා ප්‍රශ්න කරනු ලැබීය.

– Adaderana

132 views
Main News