FCID ගැන මෙතෙක් කිසිවකු ප්‍රසිද්ධියේ නොකී කතා ආන්ඩුවේ අර්බුදය මැද එලියට පනී..

October 19, 2016 at 8:40 am | lanka C news
FCID ගැන මෙතෙක් කිසිවකු ප්‍රසිද්ධියේ නොකී කතා ආන්ඩුවේ අර්බුදය මැද එලියට පනී..

ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් අද අල්ලස් කොමිසම, මැතිවරණ කොමිසම හා පොලිස් කොමිසම යටතේ ඇති FCIDය සහ CIDය දේශපාලන උවමනාවන් මත ක්‍රියාත්මක වන බව පෙනී පෙනීත් ඒවාට ‘සුදු හුණු’ ගාන්නේ ඒකාබද්ධ විපක්‍ෂය දඩයම් කිරීම ඔවුන්ගේ එකම සිහිනය වී ඇති නිසා බව ජාතික නිදහස් පෙරමුණ පවසයි.

පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම්, මොහොමඞ් මුසම්මිල් මහතා මේ බව පවසා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පවසා සිටියේය.

“අල්ලස් කොමිසම, FCIDය හා CIDය දේශපාලන උවමනාවන් වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා, කියන චෝදනාව රටේ ඉහළම පුරවැසියා වන ජනාධිපතිවරයාගෙන් ප්‍රකාශ වීමෙන් අනතුරුව අල්ලස් කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල්වරිය ඉල්ලා අස්වී තිබෙනවා. අප දන්නා හැටියට ස්වාධීන කොමිසමක බලවත් වන්නේ එහි සභාපතිවරයා සහ කොමසාරිස්වරුන්. නමුත් අල්ලස් කොමිසමේ බලවත්, ප්‍රධාන චරිතය රඟපෑවේ මේ ඉල්ලා අස් වූ අධ්‍යක්‍ෂ ජනරාල්වරියයි.

මේ අධ්‍යක්‍ෂ ජනරාල්වරිය පත් කිරීම පිළිබඳව පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කළාම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාම පිළිගන්නවා ‘ඔව්! ඇය අපේ පවුලේ සමීප මිතුරියක්’ කියලා. එදා සිටම අපි කීවා, ‘මේ පත්වීම සිදු කළේ දේශපාලන උවමනාවන් පිරිමසා ගැනීමටයි’ කියලා. මෙම පත්වීම ලැබූ දා සිටම මැයගේ ක්‍රියාකලාපය අරගෙන බලන්න. පසුගියදා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන්, හිටපු නාවික හමුදාපතිවරුන් තිදෙනකු ඇතුළු රණවිරුවන් අලුත්කඬේ උසාවියට ඉදිරිපත් කළ අවස්ථාවේදී ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මැතිතුමන්, පෙන්වා දුන්නා, ‘අල්ලස් කොමිසමේ සභාපති සහ කොමසාරිස්වරුන්ගේ අත්සන් සහිත ලිපියක් නොමැතිවයි මේ පිරිස අධිකරණයට ඉදිරිපත්කර ඇත්තේ’ කියලා. ඒ අනුව පෙනී යන්නේ හිටපු ආරක්‍ෂක ලේකම්, හිටපු නාවික හමුදාපතිවරුන් තිදෙනකු ඇතුළු රණවිරුවන් අධිකරණය හමුවට දක්කාගෙන ආවේ අල්ලස් කොමිසමේ සභාපති සහ කොමසාරිස්වරුන්ගේ අනුදැනුමකින් තොරව බවයි.

‘මෙයාගේ නිල නිවස ගැන කථා කළ ජයන්ත සමරවීර අද හිරේ’

අපි දැක්කා, මෙතුමියගේ වැටුප් වැඩිකරගත් ආකාරය. කඩිනමින් විශේෂ කැබිනට් පත්‍රිකාවක් දමලා, පාර්ලිමේන්තුවේ විවාද කරලා අනුමැතිය ලබා ගෙනයි එය සිදු කළේ. ඒ වගේම ඇය නිල නිවාසයක් ලබා ගැනීමට ඉදිරිපත් කළ දිවුරුම් පෙත්සම මේ දිනවල මාධ්‍යවල පළ වෙනවා. එහි සඳහන් වෙනවා ‘අල්ලස් කොමිසමේ සිට කි.මි. 20ක් ඇතුළත මා හට නිවසක් නැහැ’ කියලා. නමුත්, එම දිවුරුම් පෙත්සමෙහි සඳහන් ඇය පදිංචි ස්ථානයේ ලිපිනය අල්ලස් කොමිසමේ සිට කි.මි. 20කට වඩා අඩු දුරකින් යුක්තයි’ කියලා පෙනෙනවා. මේ අල්ලස් කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල්වරිය නිල නිවසක් ලබා ගැනීමේ දී සිදුකර තිබූ අක්‍රමිකතාව එදා පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන් ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක ජයන්ත සමරවීර අද ඉන්නේ හිරගෙදර. ඉහත කී ආකාරයට නිල නිවසක් ලබාගත් අල්ලස් කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල්වරිය අද නිදහසේ ඉන්නවා.

නිල නිවාස, වැඩි වැටුප් ලබා දෙමින් දේශපාලන උවමනාවන් වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න ඇයට ආණ්ඩුව උදව් දුන්නා. ආණ්ඩුවේ උවමනාව වූයේ ඇයව තමන්ගේ දේශපාලන උවමනාවන් අනුව ක්‍රියාත්මක කරවන්නයි. මම දැක්කා විජිත හේරත් ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ රතු අලි පැටව් ටික කියනවා ‘මේ ස්වාධීන කොමිසම් ටික රැක ගන්න ඕනෙ’ කියලා. ‘අපි මේවාට කොහෙන්ද හිනා වෙන්න ඕනෙ’ කියන ප්‍රශ්නයයි අපට තිබෙන්නේ. අද අල්ලස් කොමිසම, පොලිස් කොමිසම, මැතිවරණ කොමිසම ස්වාධීනව ද ක්‍රියාත්මක වෙන්නේ?

‘FCIDය ගැන මෙතෙක් කිසිවකු ප්‍රසිද්ධියේ නොකී කතාව’

දැන් බලන්න පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය(FCID) ක්‍රියාත්මක වෙන්නේ ස්වාධීන පොලිස් කොමිසම කියන ආකාරයටද? FCIDයට ඉහළින් ‘දූෂණ මර්දන කමිටුවක්’ තිබෙනවා. ඒක නියෝජනය කරනවා, රනිල් වික්‍රමසිංහ, අනුර දිසානායක, චම්පික රණවක, රාජිත සේනාරත්න ඇතුළු දේශපාලනඥයන්. FCIDය ක්‍රියාත්මක කරන්නේ මහජන පැමිණිලි නොවෙයි, මේ දේශපාලනඥයන් විසින් ඉදිරිපත් කරන පැමිණිලි. ස්වාධීන පොලිස් කොමිසමක් තිබුණාට වැඩක් නැහැ, එයට FCIDය අවනත නැහැ. එය මෙහෙයවනු ලබන්නේ ඉහත කී දේශපාලන හස්තය විසිනුයි.

‘FCIDය පරිපාලනය කරන ‘දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයේ'(Anti Corruption Committee Secretariat) අධ්‍යක්ෂ ධුරය දරන්නේ කවුද?’ කියන එකයි ඉතා වැදගත්. මෙයා ස්වාධීන පුද්ගලයෙක්ද? මෙයාගේ නම ආනන්ද විජේපාල. ජනතා විමුක්ති පෙරමුණේ වත්මන් නායක අනුර දිසානායක කෘෂිකර්ම අමාත්‍ය ධුරය දරද්දී පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ පුද්ගලයා තමයි මේ FCIDය අද පාලනය කරන්නේ. ඔහු තමයි තමන්ට ඉහළින් ඇති රනිල් වික්‍රමසිංහ, අනුර දිසානායක ඇතුළු දේශපාලන කමිටුවේ උපදෙස් අනුව ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයන්ට එරෙහිව පැමිණිලි ගොනු කරලා, ‘ මෙන්න මේවා විමර්ශනය කරලා ඔවුන් කෙසේ හෝ හිරේ දමන්න’ කියලා FCIDයට අද නියෝග දෙන්නේ. ඒ නිසා ස්වාධීන පොලිස් කොමිසමක් පිහිටුවලා තිබුණාට FCIDය ස්වාධින නැහැ. FCIDය තනිකරම දේශපාලන උවමනාවන් ඉටු කරන්න පිහිටු වූ ආයතනයක්. අද ජනාධිපතිවරයාගේ චෝදනාව පිළිඅරන් අල්ලස් කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් ඉල්ලා අස්වෙනවා නම් පොලිස්පතිවරයාත් ඉල්ලා අස්විය යුතුයි. ඒ ඔහු FCIDය හා CIDය දේශපාලන උවමනාවන් අනුව ක්‍රියාත්මක වීමට ඉඩ දී නිහඬව සිටින නිසයි.

‘මැතිවරණ කොමිසම ස්වාධීනද?’

දැන් බලන්න මහින්ද දේශප්‍රිය මහතා සභාපතීත්වය දරන මැතිවරණ කොමිසම ස්වාධීන ද? mussa2015 මහ මැතිවරණයෙන් පැරදිලා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ආපු රාජ්‍ය අමාත්‍යවරයකු අද කියනවා ‘අපි පළාත් පාලන ඡන්දය තියන්නේ 2017 ජුනි මාසයේ’ කියලා. එහෙනම් මැතිවරණ කොමිසමක් කුමකට ද? අද ‘ස්වාධින මැතිවරණ කොමිසන් සභාව’ කියන බෝඞ් ලෑල්ලත් හැල්ලුවට ගිහින් තිබෙන්නේ? එහෙම නම් අද මේ ජවිපෙ සහෝදරවරු කියන ස්වාධින කොමිෂන් සභා තිබෙන්නේ කොහෙද? මෙතැන තිබෙන්නේ ඒකාබද්ධ විපක්‍ෂය දඩයම් කිරිමේ ජවිපෙ උවමනාව. ඒකාබද්ධ විපක්ෂය නිසා ඔවුන්ට අද මන්ත්‍රීධුර 06ක් තියාගෙන පිනට ගත්තු ‘පාර්ලිමේන්තුවේ විපක්‍ෂ ප්‍රධාන සංවිධායකකමවත්’ රැක ගන්න බැහැ. ජවිපෙ අද ඒකාබද්ධ විපක්ෂය වටා පෙළ ගැසෙන ජනබලවේගය දිහා බලලා භිතීයට පත් වෙලා නන් දොඩවමින් ඉන්නේ. ඒ නිසා ඔවුන් මේ දේශපාලන උවමනාවන් අනුව ක්‍රියාත්මක වන ස්වාධින කොමිෂන් සභාවලට ‘සුදු හුණු’ ගාන්න හදනවා.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

10 views

One Comment to “FCID ගැන මෙතෙක් කිසිවකු ප්‍රසිද්ධියේ නොකී කතා ආන්ඩුවේ අර්බුදය මැද එලියට පනී..”

  1. Dickie Bird says:

    Balala mallen eliyata…… Cats out of the bag.