GSP+ වෙනුවෙන් කොන්දේසි රැසකට එකග වෙලා..- යුරෝපා සංගම් තානාපති කියලා

May 19, 2017 at 3:18 am | lanka C news
GSP+ වෙනුවෙන් කොන්දේසි රැසකට එකග වෙලා..- යුරෝපා සංගම් තානාපති කියලා

යුරෝපා සංගමය වෙතින් GSP+ බදු සහන ලබා ගත්තේ කවර කොන්දේසි යටතේදැයි වහාම රටට කියන ලෙස ආණ්ඩුවට අවධාරණය කරන ජාතික නිදහස් පෙරමුණ, එම කොන්දේසි අතර නව ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගෙන ඒම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම හා මහජන ආරක්‍ෂක ආඥා පනත සංශෝධනය කිරීම ආදී රටේ භෞමික අඛණ්ඩතාවට හා ජාතික ආරක්‍ෂාවට අහිතකර කොන්දේසි තිබෙන බවට අනතුරු අගවා සිටී.

පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවේදී එහි ප්‍රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල් මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මොහොමඞ් මුසම්මිල් මහතා මෙසේ ද සඳහන්කර සිටියේය.

“ශ්‍රී ලංකාවට අහිමිකර තිබූ GSP+ බදු සහනය නැවත ලබාගත් බවට මේ ආණ්ඩුව උදම් අනමින් සිටිනවා. එවිට අපට සිහියට නැගෙන්නේ යුරෝපයට ගිහින් තමන්ගේ රටට එරෙහිව කේලාම් කියා GSP+ බදු සහනය අහිමි කරවීමට කටයුතු කරපු එවකට විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාවයි. මේ බදු සහනය යුරෝපා සංගමය විසින් යම් රටකට ලබා දෙන්නේ ආර්ථික කොන්දේසි මෙන්ම දේශපාලන කොන්දේසි රැසක් ද ඉටු කිරීමට එකඟ වුවහොත් පමණයි. මෙවර GSP+ බදු සහනය ලබා දීමට පෙර ශ්‍රී ලංකාව සහ මාලදිවයින බාර යුරෝපා සංගමයේ තානාපතිවරයා ද පවසා තිබුණේ, ‘ශ්‍රී ලංකා රජය ආර්ථික කොන්දේසි මෙන්ම දේශපාලන කොන්දේසි රැසක් ද ඉටු කිරීමට පොරොන්දු වූ නිසා ඔවුන්ට නුදුරේදීම GSP+බදු සහනය ලබා දෙනවා” යනුවෙන්. මීට ඉහතදී යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවට GSP+ බදු සහනය ලබා දීම සදහා දේශපාලන කොන්දේසි 58ක් ඉදිරිපත් කොට තිබුණා.

ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගෙන ඒම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම, මහජන ආරක්‍ෂක ආඥා පනත සංශෝධනය කිරීම ඇතුළු 2015 ඔක්තෝම්බරයේදී ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවේ ද සම අනුග්‍රාහකත්වය සහිතව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ යෝජනාවලියෙහි අඩංගු කරුණු රැසක් ඒ කොන්දේසි අතර වූවා. මේවා ශ්‍රී ලංකාවේ ජාතික ආරක්‍ෂාව, භෞමික අඛණ්ඩතාවයට අහිතකර කොන්දේසියි. අපි ආණ්ඩුවෙන් අහනවා, ‘GSP+ බදු සහනය ලබා ගැනීමේදී ඉටු කිරීමට එකඟවූ කොන්දේසි මොනවාද?’ කියා. මේ ආණ්ඩුවේ වසර දෙකක ක්‍රියා කලාපය අනුව ඉතා පැහැදිලියි ඔවුන් මේ සහනය ලබාගෙන ඇත්තේ රටට අහිතකර කොන්දේසි රැසකට එකඟවී බව. ඒ නිසා අපි යළි ආණ්ඩුවට අවධාරණය කරන්නේ මේ බදු සහන ලබා ගැනීම සඳහා එකඟ වූ කොන්දේසි වහාම රටට හෙළි කරන ලෙසයි.

ඒ වගේම මේ බදු සහනය ලබා ගැනීමෙන් පස්සෙ ආණ්ඩුව ජනතාව ගොනාට අන්දවමින් ඒත්තු ගන්වන්න හදනවා, ‘GSP+ ලැබුණාට පස්සෙ රටට ආයෝජන ගලා ඒවි’ කියලා. ඒක අමූලික බොරුවක්. රටකට ආයෝජන ගලා එන්නනම් ඒ රට ආර්ථික වශයෙන් මෙන්ම දේශපාලන වශයෙන් ද ස්ථාවර වෙන්න ඕනෙ. අද මේ රට ආර්ථික වශයෙන් ස්ථාවරද? නැහැ. මහ බැංකු බැඳුම්කර වංචාව නිසා මේ රටේ මහ බැංකුව ගැන පවා ආයෝජකයන්ට විශ්වාසයක් නැහැ. කොටස් වෙළඳපළ, රුපියල දිනෙන් දිනම කඩා වැටෙනවා. ‘ෆිච් රේටින්’, ‘බ්ලූම්බර්ග්’ ආදී ආර්ථික දර්ශකවල ලංකාවට හිමි වී ඇත්තේ පහළ ස්ථාන. ඒවා මගින් තහවුරු වී ඇත්තේ ශ්‍රී ලංකාව ආයෝජන අවදානමක් සහිත, ආර්ථික පරාධීනත්වයට වැඩි වශයෙන් ගොදුරු වූ රටක් ලෙසයි. අද කුඩා දරුවකුට වුවත් තේරෙනවා, ‘ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වයක් නැහැ’ කියලා. ඒ වගේම ‘පාර්ලිමේන්තුවේ 2/3ක බලයක් තිබෙනවා’ කියා කිව්වත් මේ ආණ්ඩුව දේශපාලනික වශයෙන් ස්ථාවර එකක් නොවෙයි. මේකේ අලකලංචි ගොඩක් තිබෙනවා. කවර මොහොතේ කඩා වැටේවිද ? කියා කියන්න බැරි ආණ්ඩුවක්. ඒ නිසා විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා කියන ආකාරයේ ආයෝජන ගලා ඒමක් සිදු වන්නේ නැහැ. ඒ තියා GSP+ නිසා ලැබිය යුතුව තිබෙන අවම සහනයවත් මේ රටට ලබා දෙන්න මේ අස්ථාවර ආණ්ඩුවට බැහැ.

“සයිටම් විරෝධී පෙළපාලියට එල්ල කළ ප්‍රහාරය හෙළා දකිනවා”

සයිටම් විරෝධී සිසු පෙළපාලියට ආණ්ඩුව පොලිසිය යොදාගෙන එල්ල කළ ප්‍රහාරය දැඩි පිළිකුළෙන් හෙළා දකිනවා. තමන්ගේ වැරදි ප්‍රතිපත්තිවලට එරෙහිව සටන් වදින ජන බලවේග පොඩිපට්ටම් කිරීමේ ගමනක් තමයි මේ ආණ්ඩුව යමින් සිටින්නේ. සයිටම් විරෝධී සිසුන්ට බැටන් ප්‍රහාර, ජල ප්‍රහාර, කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළාම ඒ ප්‍රශ්නය විසඳෙනවාද? ප්‍රජාතන්ත්‍රවාදය වළ දමා ඉදිරියට යන්න හදන මේ ආණ්ඩුව බලයට ආවේ ලිච්ඡවී පාලනයක් ගැන කියමින් නේද? ‘මේ විදියට ඉදිරියට යන්න බැහැ’ කියා මේ ආණ්ඩුව දැන්වත් තේරුම් ගත යුතුයි. ආණ්ඩුවේ වැරදි ප්‍රතිපත්ති වලට එරෙහිව සටන් වැදීමට සියලු ජන බලවේග පෙරට ආ යුතුයි. ”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

197 views
Main News